ලෝක මට්ටමේ ක්‍රිකට් තරගාවලියක තනි සත්කාරකත්වය ලබා ගැනීමට අවශ්‍ය වන දිවා/රාත්‍රී තරග පැවැත්විය හැකි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ පහක් දැන් ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. පස් වැනි ක්‍රීඩාංගණය වන්නේ කොළඹ එස්.එස්.සී. (සිංහල ක්‍රීඩා සමාජය).
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අලුතින් සවි කරන ලද විදුලි ආලෝක පද්ධතිය ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා හා එස්.එස්.සී. සභාපති රංජිත් පණ්ඩිතගේ ඊයේ පස්වරුවේදී විවෘත කළා.
ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය පාකිස්තානය හා නෙදර්ලන්තය අතර පෙබරවාරි 7 වැනිදා ක්‍රීඩා කරන්නේ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ. එස්.එස්.සී. හැරුනු විට ශ්‍රී ලංකාව ට තිබෙන විදුලි ආලෝක පද්ධති සහිත සෙසු ක්‍රීඩාංගණ වන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස, පල්ලෙකැලේ, සූරියවැව මහින්ද රාජපක්ෂ සහ රංගිරි දඹුල්ල යන ක්‍රීඩාංගණ.
LED තාක්ෂණය මත පදනම් වූ මෙම නව ආලෝක පද්ධතිය කුළුණු හයකින් සමන්විත වන අතර මුළු ක්‍රීඩාංගණය පුරා ඒකාකාර ආලෝකකරණයක් ලබා දීම සඳහා LED ‘ලුමිනියර්’ 630ක් (කුළුණු 3කට 100 වන සේ හා කුළුණු 3කට 110 වන පරිදි) භාවිතා කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) අවශ්‍යතාවට සරිලන ලෙස දීප්තිය සහිත මෙම විදුලි ආලෝක පද්ධතියෙන් ක්‍රීඩකයින්, නිලධාරීන් හා නරඹන්නන් සඳහා උසස් දෘශ්‍ය පැහැදිළිතාවක් ලබා දෙනවා.
ඊට අමතරව, නරඹන්නන්ට වැඩි ආශ්වාදයක් ගෙන ඒමේ අරමුණින් දෘශ්‍යමය වශයෙන් වඩාත් ආකර්ෂණීය සිදුවීම් නිර්මාණය කිරීමට හැකි වර්ණ ආලෝකකරණ දර්ශන ඇතුළුව බහුවිධ මෙහෙයුම් ක්‍රම සක්‍රීය කළ හැකි වන පරිදි වූ නවීන ආලෝකකරණ පාලන පද්ධතියක් ද මෙහි ස්ථාපනය කර තිබීම විශේෂත්වයක්.
එස්.එස්.සී. විදුලි ආලෝක පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයින්, නිලධාරීන් මෙන්ම සිංහල ක්‍රීඩා සමාජයේ (එස්.එස්.සී.) නිලධාරීන් ද සහභාගි වුණා. මෙහිදී ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක් පැවැත්වීමෙන් මේ අවස්ථාව තවත් වර්ණවත් වුණා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







