ශ්‍රී ලංකාව ට එරෙහි සෑම් කරන්ගේ ‘හැට්-ට්‍රික්’ දක්ෂතාව ප්‍රමුඛ කරගත් සාමුහික පන්දු ප්‍රහාරයකින් එංගලන්තය ඊයේ පල්ලෙකැලේ
ක්‍රීඩාංගණයේදී ඩක්වර්ත්/ලුවිස් ක්‍රමවේදයට අනුව ලකුණු 11ක ජයක් වාර්තා කරමින් දෙපිල අතර තරග තුනකින් සමන්විත ජාත්‍යන්තර විස්සයි20 තරගමාලාවේ 1-0කින් පෙරමුණට පිවිසියා.
කරන් විසින් දසුන් ශානක, මහේෂ් තීක්ෂණ හා මතීෂ පතිරණගේ කඩුලු 16 වැනි ඕවරයේදී ලබා ගනිද්දී එංගලන්තය වර්ෂාව හේතුවෙන් ඕවර 17කට කෙටි කෙරුණු මේ පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 133කට සීමා කළා. අඩිල් රෂීඩ් ද කඩුලු තුනක් (19/3) ලබා ගත් අතර ලියාම් ඩෝසන් (31/2) හා ජැමී ඔවර්ටන් (17/2) කඩුලු දෙක බැගින් ලබා ගත්තා. කරන් ඔ්වර තුනක් යවමින් ලකුණු 38කට කඩුලු 3ක් ලබා ගත්තා.
පළමුව පන්දුවට පහර දීම පිණිස ශ්‍රී ලංකාව කැඳවීමෙන් පසුව ආරම්භක පිතිකරුවෝ කරන් ට හතරේ පහර තුනක් එල්ල කළා. කමිල් මිෂාර හතරේ පහර 2ක් සහ හයේ පහරක් එල්ල කිරීමෙන් පසුව ඔවර්ටන්ගේ පන්දුවට ඩෝසන් වෙත උඩ පන්දුවක් දෙමින් දැවී ගියා. පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස්ගේ හතරේ පහරවල් සමග දිගටම ලකුණු ගලා ආවා. ඩෝසන්ගේ පන්දුවකින් නිස්සංක දැවී යාමෙන් බේරුණේ පන්දුව කඩුල්ලේ ස්පර්ශ වූවත් බේල්ස් ඉවත් නොවූ බැවින්. පන්දුව අතිරේක ලකුණු හතරක් ලබා දෙමින් සීමාව දෙසට ඇදී ගියා. ඉන්පසුව නිස්සංක හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කළ අතර ශ්‍රී ලංකාව ඔ්වර පහක් ඇතුළත එක් කඩුල්ලක් පමණක් අහිමි කරගෙන ලකුණු 50ක් දක්වා වේගවත් ගමනක් පැමිණ සිටියා.

මෙන්ඩිස් හත් වැනි ඔ්වරයේදී කරන් සමග සෙල්ලම් කරමින් ඔහුගෙන් ලකුණු 20ක් උදුරා ගත්තා. හත් වැනි ඕවරය වනතුරු ශ්‍රී ලංකාව එංගලන්ත පන්දු යවන්නන් බල බිඳුණු පිරිසක් බවට පත් කළ ද, දඟ පන්දු යවන රෂිඩ් විසින් නිස්සංකව පන්දුව කෙළින් ඉහළට එල්ල කිරීම සඳහා පොළඹවා ගත් අතර කඩලු රකින ජොස් බට්ලර් එම උඩ පන්දුව රැක ගත්තා. ඩෝසන්, චරිත් අසලංක දවාලූ අතර රෂිඩ් ලකුණු 37ක් රැස්කර ගෙන සිටි මෙන්ඩිස්ගේ සහ ධනංජය ද සිල්වාගේ කඩුලු ලබා ගත්තා. ඒ අතරතර, ඩෝසන් ඔහුගේ දෙවැනි කඩුල්ල ලබා ගනිමින් ජනිත් ලියනගේ දවාලද්දී ශ්‍රී ලංකාව 76/1 සිට 100/6 දක්වා කඩා වැටුනා.
දසුන් ශානක සහ වනිඳු හසරංග ශක්තිමත් පහර දෙකක් එල්ල කළ ද අවසන් ඕවරයට පෙර ඕවරයේදී කරන් පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් අතර ඔවර්ටන් හසරංග දවාලමින් ශ්‍රී ලංකා ඉනිම අවසන් කළා. ශ්‍රී ලංකාවේ අවසන් කඩුලු නවය බිඳ වැටුනේ ලකුණු 57කට.

ඉලක්කය හඹා යාමේදී, එංගලන්තය ඉනිම ආරම්භ කළේ ජොස් බට්ලර් හා ෆිල් සෝල්ට්ගේ වේගවත් පිතිහරඹයෙන්. ඔවුන් ඕවර 2.4ක් ඇතුළත ලකුණු 36ක් රැස් කරගෙන සිටියදී එෂාන් මාලිංග විසින් බට්ලර්ගේ කඩුල්ල බිඳ දමනු ලැබුවේ එම ඕවරයේදී හතරේ පහර 4ක් ලබා දීමෙන් පසුව. ජේකබ් බෙතල්, හතරේ පහර දෙකක් එල්ල කිරීමෙන් පසුව මාලිංගගේ පන්දුවට ‘කවර්’ ස්ථානයට කෙළින්ම උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා. ටොම් බැන්ටන් (පන්දු 15කින් ලකුණු 29) එංගලන්තය තරගයේ ඉදිරියෙන් තබා ගනිමින් අට වැනි ඕවරයේදී හසරංග ට ලකුණු 17ක් එල්ල කර අසලංකගේ විස්මිත උඩ පන්දු රැකීමකින් දැවී ගියා.

එංගලන්ත ඉනිම පුරාම කඩුල්ලේ රැඳී සිටි සෝල්ට් පන්දු 35කින් ලකුණු 46ක් ලබා ගත්තා. ඕවර 15කින් පසුව එංගලන්තය කඩුලු 4කට ලකුණු 125ක් රැස් කරගෙන තිබියදී නැවත වරක් වැසි පතිත වූව ද ඒ අවස්ථාව වන විට එංගලන්තය ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදයට (DLS) අනුව ලකුණු 11ක් ඉදිරියෙන් සිටි බැවින් ඔවුන්ට තරගයේ ජය හිමිවුණා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







