නායක දසුන් ශානක පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ රාත්‍රියේ ක්ෂණිකව නැගී සිටිමින් එල්ල කළ ආකර්ෂණීය ප්‍රහාරය ශ්‍රී ලංකාව ලකුණු පහක සියුම් පරාජයකින් බේරා ගැනීමට ප්‍රමාණවත් නොවුනත් එයින් පාකිස්තානය 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වී නවසිලන්තය අවසන් පූර්ව වටයට ඇතුළු වුණා.
අවසන් ඕවරයේ ලකුණු 28ක් අවශ්‍යව තිබියදී ශානක, ෂහීන් අෆ්රිඩි ට (48/1) පිට පිට හයේ පහර තුනක් සහ හතරේ පහරක් එල්ල කරමින් අවසාන පන්දුවෙන් ලකුණු හයක් දක්වා ඉලක්කය අඩු කළා. කෙසේ වෙතත්, ශානක අවසාන පන්දුව ‘වයිඩ්’ පන්දුවක් ලෙසින් නම් කරනු ඇතැයි අපේක්ෂා කරමින් එයට ක්‍රීඩා නොකිරීමට තීරණය කළත්, තරග විනිසුරු එය ‘වයිඩ්’ පන්දුවක් ලෙසින් පිළිගත්තේ නැහැ.
ශ්‍රී ලංකා නායකයාගේ පන්දු 31කින් නොදැවී ලකුණු 76ක ප්‍රවේගකාරී ඉනිම හයේ පහර 8ක් සහ හතරේ පහර 2කින් අලංකාර වී තිබුණා. පාකිස්තානයේ 212/8 හඹා ගිය ශ්‍රී ලංකාව 206/7න් නතර වුණා. නවසිලන්තයේ 1.390ක ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය අභිබවා ගොස් අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාව ලකුණු 147 ට වඩා අඩුවෙන් සීමා කිරීමට පාකිස්තානය ට සිදුව තිබුණා. එහෙත් පවන් රත්නායක සහ දසුන් ශානකගේ පන්දු 32කින් ලකුණු 61ක සබඳතාව පාකිස්තාන හදවත් බිඳ දැමුවා.
සහිබ්සාඩා ෆර්හාන්ගේ (100) මේ තරගාවලියේ දෙවැනි ශතකය සහ ෆකාර් සමාන් (84) සමග T20 ලෝක කුසලාන ඉතිහාසයේ ඔ්නෑම කඩුල්ලක් වෙනුවෙන් වූ ලකුණු 176ක වැඩිම සබඳතාව මධ්‍යයේත් පාකිස්තානය ට වැරදුනේ ඔවුන්ගේ ඉනිම පසුව කඩා වැටෙමින් අවසන් ඕවර හතරේදී ලකුණු 36කට කඩුලු 8ක් බිඳ වැටුනු නිසා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔවුන්ගේ රිද්මය සොයා ගැනීමත් සමග පාකිස්තාන ඉනිම 16 වැනි ඕවරයේදී 176/0 සිට 212/8 දක්වා කඩා වැටුණා.
තරගාවලියේ ඉදිරියට යාම පිණිස අවම වශයෙන් ලකුණු 64ක ජයග්‍රාහී අන්තරයක් අවශ්‍යව තිබියදී පාකිස්තානය ට අබ්රා අහමඩ්ගේ චමත්කාරජනක 4-0-23-3ක පන්දු යැවීම හැරුනුවිට අනෙක් පන්දු යවන්නන්ගෙන් ලැබුනේ අඩු සහයෝගයක්.
මුලින්, 12 වැනි ඕවරයේදී 101/5කට අසරණව සිටි ශ්‍රී ලංකාව නැවත තරගයට අවතීර්ණ වුනේ පවන් රත්නායකගේ හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමග පන්දු 37කින් ලකුණු 58 සහ ශානකගේ වික්‍රමයන්ගෙන් දීප්තිමත් වුනු හය වැනි කඩුලු සබඳතාවෙන්.
විස්සයි20 ලෝක කුසලාන තනි තරගාවලියක ඉන්දියාවේ විරාට් කෝලිගේ ලකුණු 319 වාර්තාව අභිබවා ගිය පාකිස්තානයේ ෆර්හාන් ට මෙය තිත්ත අවසානයක් වුණා. 29 හැවිරිදි ක්‍රීඩකයා ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් සමග තරග හතකින් ලකුණු 383ක් රැස් කරගෙන තරගාවලිය අවසන් කළේ 76.60ක සාමාන්‍යයක් සහ 160.25ක ප්‍රහාරාත්මක වේගයක් සටහන් කරමින්.
ඉලක්කය හඹා යාමේදී ශ්‍රී ලංකාවේ ආරම්භය අස්ථිර වූයේ නසීම් ෂා විසින් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 3කට දවාලීම හේතුවෙන්. කමිල් මිෂාර (26) හා චරිත් අසලංක (25) ඔවුන්ගේ ආරම්භයන් හොඳ ඉනිම බවට පත් කිරීමට අසමත් වුණා.
අබ්රා අහමඩ් ඔහුගේ නිරවද්‍ය පන්දු යැවීමෙන් මිෂාර, අසලංක හා කමිඳු මෙන්ඩිස් (3)ගේ කඩුලු බිඳ දැමුවා.
ඊට කළින්, ෆර්හාන් සහ ෆකාර් සමාන්ගේ වාර්තාගත සබඳතාව මත පාකිස්තානය විශාල මුළු ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළා. දැවී යාම් දෙකකින් බේරුණු සමාන් ලකුණු 84ක් ලබා ගත්තේ පන්දු 42කට මුහුණ දෙමින්. ඔහු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බැට දුන්නේ හතරේ පහර 9ක් සහ හයේ පහර 4කින්. ෆර්හාන් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමග පන්දු 60කින් ලකුණු 100ක් වාර්තා කළා. පාකිස්තානය පස් වැනි ඕවරයටත් පෙර ලකුණු 50 ලබා ගෙන තිබුණා.
ෆර්හාන් ද වාසනාවන්තයෙක් වෙමින් දෙවරක් දැවී යාමෙන් ගැලවුණා. කෙසේ වෙතත්, ෆර්හාන් ශතකය ලබා ගත් සැණින් ඔහුගේ කඩුල්ල ද ඇතුළුව කඩුලු ගණනාවක් ම බිඳ වැටීම පාකිස්තානය ට අමතර ලකුණු එක් කිරීම වැළැක්වූවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







