නවසිලන්තය 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයට ගෙන යමින් 26 හැවිරිදි ෆින් ඇලන්
දකුණු අප්‍රිකාව ට එරෙහිව පන්දු 33කින් වාර්තා කළ වේගවත්ම T20 ලෝක කුසලාන ශතකයට හයේ පහර 8ක් සහ හතරේ පහර 10ක් ඇතුළත්ව තිබුණා.
ඇලන් එල්ල කළ හයේ පහර අට සමග මේ තරගාවලියේ ඔහුගේ හයේ පහර එකතුව 20 දක්වා ඉහළ ගියා. ඒ අනුව ඔහු විස්සයි20 ලෝක කුසලාන තනි තරගාවලියකදී අවම වශයෙන් හයේ පහර 20ක් එල්ල කළ ලොව පළමු පිතිකරුවා බවට පත්වුණා. ඔහු මේ හයේ පහර ප්‍රමාණය ලබා ගත්තේ තරග අටකින්.
තනි T20 ලෝක කුසලාන තරගාවලියක වැඩිම හයේ පහර ප්‍රමාණයේ මීට පෙර වාර්තාව තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ශිම්රෝන් හැට්මයර්ගේ නමට. දැන් පැවැත්වෙන තරගාවලියේ තරග හතකදී ඔහු හයේ පහර 19ක් එල්ල කර තිබුණා.

විස්සයි20 ලෝක කුසලාන තරගයක එක් ඉනිමකදී වැඩිම හයේ පහර එල්ල කළ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ඇලන් දැන් සිටින්නේ සම තෙවැනි ස්ථානයේ. පිතිකරුවන් දෙදෙනෙක්, එනම්, බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රිස් ගේල් (11) සහ අමෙරිකාවේ ඒරන් ජෝන්ස් (10), ඇලන්ගේ හයේ පහර 8 ට වඩා වැඩි සංඛ්‍යාවක් එක් ඉනිමකදී එල්ල කිරීමට සමත්ව සිටිනවා.
ෆින් ඇලන්ගේ එක් ඉනිමක හයේ පහර අටේ සම තෙවැනි ස්ථානයේ තවත් පිතිකරුවන් පස් දෙනෙක් සිටිනවා. එම පිතිකරුවන් වන්නේ රිලී රොසොව් (දකුණු අප්‍රිකාව), නිකොලස් පූරාන් (බටහිර ඉන්දීය කොදෙව්), ෂායි හෝප් (කොදෙව්), රෝහිත් ෂර්මා (ඉන්දියාව) සහ දසුන් ශානක (ශ්‍රී ලංකාව).
ඇලන් නවසිලන්තය වෙනුවෙන් මෙවර තරගාවලියේ ඔවුන්ගේ දෙවැනි මූලික කොටසේ තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිලට එරෙහිව හයේ පහර 5ක් එල්ල කළ අතර දකුණු අප්‍රිකාව ට එරෙහි මූලික වට තරගයේදී හයේ පහර 2ක් වාර්තා කළා.
කැනඩාව ට එරෙහිව ක්‍රීඩා කළ පන්දු 8කින් ලකුණු 21ක ඉනිමේදී ඔහු එක් හයේ පහරක් එල්ල කළා. ශ්‍රී ලංකාව ට එරෙහිව පැවති ‘සුපිරි අට’ තරගයේදී එක් හයේ පහරක් සටහන් කළ ඇලන් එංගලන්තය ට එරෙහි තරගයේදී හයේ පහර 3ක් එල්ල කළා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







