ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට දින 100කට වඩා අඩුවෙන් තිබියදී මැද පෙරදිග කලාපයේ දැන් පැවැත්වෙන
යුද්ධයේ පුළුල් පරාසයක විහිදුනු සංකීර්ණ ප්‍රතිඵල අතර එම තරගාවලියට ඉරානයේ සහභාගිත්වය ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.
එළඹෙන ජූනි 11 සිට ජූලි 19 දක්වා පැවැත්වෙන මේ ගෝලීය තරගාවලියට අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව සම සත්කාරකත්වය දරණ අතර ආරම්භක තරගයට අවම වශයෙන් සතියකට පෙර උතුරු අමෙරිකාව ට යාමට අපේක්ෂිත රටවල් 48 අතර ඉරානය ද සිටිනවා.
ඉරානය ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වුනත් නැතත් තමාට එයින් වැඩක් නැතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
“ඉරානය ඉතාමත් පරාජිත රටක් කියලයි මම හිතන්නේ. ඔවුන් දුවන්නේ ඉතාමත් බරපතල ලෙස බිඳ වැටුනු ආර්ථිකයකින්” යනුවෙන් ට්‍රම්ප් අමෙරිකානු පුවත් වෙබ් අඩවියකට අඟහරුවාදා පැවසුවා.
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානය ට පහර දෙමින් ආරම්භ කර තිබෙන යුද්ධය දැන් මැද පෙරදිග රටවල් 12කට ව්‍යාප්ත වී තිබෙනවා. මේ හේතුවෙන්, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉරානයේ ස්ථානය ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබෙන අතර ඉරාන පාපන්දු සම්මේලනය (FFIRI) සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) නිලධාරීන් ලොව 20 වැනියට ශ්‍රේණිගතව සිටින පාපන්දු දේශයේ සහභාගිත්වය සම්බන්ධයෙන් කිසිම නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නැහැ.
“මේ ප්‍රහාරයෙන් පස්සේ, අපට විශ්වාසයෙන් යුතුව ලෝක කුසලාන තරගාවලිය ගැන හිතන්න බැහැ” යනුවෙන් FFIRI සභාපති මෙහ්ඩි ටාජ් (Mehdi Taj) ප්‍රකාශ කර තිබෙන්නේ තරගාවලියෙන් ඉවත් වන බවට තර්ජනය කරමින්.
උතුරු කැලිෆෝනියාවේ පැවැත්වෙන තරග හයෙන් එකකට හෝ ඉරාන පාපන්දු කණ්ඩායම සහභාගි වීමට නියමිතව නැතත්, ඔවුන්ගේ මූලික අදියර තරග පැවැත්වීමට යෝජිත නගර වී තිබෙන්නේ ලොස් ඇන්ජලීස් හා සිඇටල්.
තරගාවලියේ අනෙක් සත්කාරක රටවල් වන මෙක්සිකෝව හා කැනඩාවේ නගරවල තමන්ගේ තරග පවත්වන ලෙසට ඉරානය ට ඉල්ලා සිටිය හැකි වූවත්, එය සාර්ථක නොවනු ඇති බවට විශ්වාස කෙරෙන්නේ තරග පැවැත්වෙන ස්ථාන දැනටමත් තීරණය කර අවසන්ව ඇති බැවින්. අමෙරිකාව ප්‍රමාණවත් පීඩනයක් යෙදුවොත්, ඔවුන් ඉරානය තරගාවලියෙන් නෙරපා දමන ලෙසට FIFA ට බලපෑම් කිරීමට පවා ඉඩ තිබෙනවා.
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම වන ඉරානය එම තරගාවලියට සහභාගි නොවන්නේ නම්, ආසියානු පාපන්දු සම්මේලනය නියෝජනය කරන ඊළඟ විකල්පය වනු ඇත්තේ ඉරාකය.
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික අදියරේදී ඉරානය ට අමෙරිකාව මුණගැසෙන්නේ නැහැ. එහෙත් පිළිමලුන් පිටුදැකීමේ වටයේදී මේ දෙරට මුණගැසීමට ඉඩ තිබෙනවා. මේ කණ්ඩායම් දෙක ලෝක පාපන්දු වේදිකාවේ අවසන් වරට එකිනෙකාට එරෙහිව තරග කළේ 2022 සහ 1998 ලෝක කුසලාන තරගවලයි.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







