බිලියන 1.4කට වැඩි ජනගහණයක් සිටින ඉන්දියාව වැනි ක්‍රිකට් සුපිරි බලවතෙක් සමග කෙළින්ම මුහුණලා සිටීම ම මිලියන පහකට මඳක් වැඩි ජනගහණයක් ඇති රටක් ලැබූ ජයග්‍රහණයක් බව නවසිලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් ෆිලිප්ස් පවසනවා.
අවසාන තරගයේ කණ්ඩායම් දෙකේ තිබෙන තරාදියේ අසමානතාවේ යථාදර්ශනය ඔහු විසින් මෙසේ ඉදිරිපත් කර තිබෙන්නේ 2026 විස්සයි20 ලෝක කුසලානය සඳහා හෙට (8) පැවැත්වෙන ගැටුමට පෙර.
එවැනි විශාල ජනගහණයක් ඇති ඉන්දියාව සහජ කුසලතාවේ ඊර්ෂ්‍යා උපදවන තරමේ ගැඹුරක් භුක්ති විඳින අතර ඔවුන්ට එක සමාන ශක්තියකින් යුත් කණ්ඩායම් බොහොමයක් ඉතා පහසුවෙන් තරග බිමට යෙදවිය හැකි බවට ෆිලිප්ස් පෙන්වා දෙන්නේ ඒ අතරෙම හෙට නවසිලන්තය හමුවේ තිබෙන කලකිරවන අභියෝගය මෙනෙහි කරමින්.
“පැහැදිලිවම, අපේ රටේ ඉන්නේ අඩු ජනතාවක්. ඒ නිසා අපට ඉසුරුමත් ලෙස තෝරා ගැනීමක් කරන්න තරම් පහසුවක් නැහැ. එයින් අදහස් වන්නේ පැහැදිලිවම අපේ උසස් කාර්ය සාධන වැඩසටහන ඉතාමත් විශේෂී ආකාරයෙන් අපට සිටින ජනගහණයට සැපයිය යුතු බවයි” ෆිලිප්ස් කියනවා.

ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සිටින එක් දක්ෂතම පන්දු රකින්නකු ලෙසින් සැලකෙන ග්ලෙන් ෆිලිප්ස් මේ ප්‍රකාශයෙන් බිලියනයකට වැඩි ක්‍රීඩා ලෝලීන්ගේ අපේක්ෂාවන් උසුලා ගෙන යන සත්කාරක ඉන්දියාව මත මානසික බරක් පැටවීමේ මෘදු උත්සාහයක් ගෙන තිබෙනවා.
ජන සංඛ්‍යාවේ සාපේක්ෂ වැදගත්කම පිළිබඳව සලකා බලන විට, නවසිලන්තයේ ජනගහණය මිලියන 5.36ක් පමණ වන අතර ඉන්දියාවේ අහමදාබාද් නගරයේ පමණක් මිලියන 9.3ක පමණ ජනගහණයක් සිටින බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව මුළු නවසිලන්තය ට ම තිබෙන්නේ අහමදාබාද් නගරයට වඩා මිලියන හතරක පමණ අඩු ජනගහණයක්.

“නිසැකයෙන් ම, ඉන්දියාවේ එළියට එන සහජ දක්ෂතාව සුවිශේෂයි. ඔවුන්ට මේ ලෝක කුසලානය වෙනුවෙන් එක සමාන දක්ෂතාවෙන් තරග කළ හැකි කණ්ඩායම් තුනක් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා” ෆිලිප්ස් සඳහන් කරනවා.
“ඒ නිසා, මෙවැනි ඉතාමත් අඩු ජනගහණයක් තියාගෙන අපි ලෝකෙ වටේ තියෙන කණ්ඩායම් සමග තරග කිරීම අගේ ඇති ක්‍රියාවක්!” ග්ලෙන් ෆිලිප්ස් කියා සිටිනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







