දේශීය ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටීම පිණිස සමහර පාකිස්තාන ජාතික ක්‍රීඩකයින් මාධ්‍ය උපයෝගී කරගෙන ව්‍යාජ ආබාධ
වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධ කරන බවට හිටපු පාකිස්තාන නායක මොහමඩ් හෆීස් චෝදනා කරනවා.
මේ ක්‍රීඩකයින්ට පෞද්ගලික T20 ලීගයන් හි තරගවල ක්‍රීඩා කරද්දී එවැනි ආබාධයක් නැති බව හෆීස් කියනවා.
ඔහුගේ මේ ඉතාමත් ප්‍රබල චෝදනාව ප්‍රකාශ වන්නේ පාකිස්තානය 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් කලින්ම ඉවතට විසිවීමෙන් පසුව.
“මම මේක කියන්නේ ඉතාමත් කනගාටුවෙන්. සමහර ක්‍රීඩකයින් ඔවුන්ගේ වෛද්‍ය වාර්තා ඔවුන් විසින් ම හදා ගන්නවා” යනුවෙන් හෆීස් පවසනවා. “ඔවුන්ට දේශීය ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සිදුවෙද්දී, හදිසියේම කාර්ය බහුලත්වය සහ ආබාධ මතුවනවා.”
දේශීය ලීග් ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාව මඟහැර දින කිහිපයකට පසුව මේ ක්‍රීඩකයින්ගේ සියලු ආබාධ සුව වන බව හෆීස් පෙන්වා දෙනවා.
පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකුම ප්‍රශ්නවලට මුල අවුල්ව ගිය ඔවුන්ගේ දේශීය ක්‍රිකට් පද්ධතිය බව නිතර නිතර ප්‍රකාශ වනවා. ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ දස්කම් නොදක්වන බාබර් අසාම් වැනි ක්‍රීඩකයින්ගෙන් ඉවත් වීම අවශ්‍යව තිබියදීත්, ස්ථාපිත ක්‍රීඩකයින් කෙරෙහි බලපෑමක් එල්ල කළ හැකි ප්‍රමාණවත් නිපුණත්වයක් ඵල ගැන්වීමට එම පද්ධතිය අසමත්ව ඇතැයි පැවසෙනවා.
ඒ අනුව හෆීස්, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සම්පූර්ණයෙන්ම අගෞරව කිරීම පිළිබඳව ද පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට චෝදනා කරමින්, ජාත්‍යන්තර විස්සයි20 ක්‍රීඩාවේ වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැක්කේ ටෙස්ට් ක්‍රීඩාවට පොහොර දැමීමෙන් පමණක් බව කියා සිටිනවා.
“ටෙස්ට් ක්‍රීඩාවට හිමි ගෞරවය අපි ලබා දෙන්නේ නැහැ. රතු පන්දුවේ ක්‍රීඩාවෙන් උදාහරණයක් මම පෙන්වන්නම්. එහි ප්‍රධාන වශයෙන් කොන්ත්‍රාත්ගතව සිටින නායකයාව වර්ග කර තිබෙන්නේ ‘ඩී’ කොටසට. එමගින් ටෙස්ට් ක්‍රීඩාවට කරන්නේ කුමන ආකාරයේ ගෞරවයක් ද?...T20 ක්‍රිකට් ක්‍රීඩාව පාකිස්තානය බේරාගන්නේ නැහැ. නමුත් ටෙස්ට් ක්‍රීඩාව එසේ කරාවි. දේශීය ක්‍රිකට්වලට අවධානය යොමු කර ටෙස්ට් ක්‍රීඩාවට වැදගත්කමක් ලබා දිය යුතුයි. ටෙස්ට් ක්‍රීඩා කරන්න කියලා ක්‍රීඩකයින්ට නියෝග කළ යුතුයි. එහෙම නොකළොත් ප්‍රධාන කොන්ත්‍රාත්තුවක් නොලැබෙන බව ඔවුන්ට දැන්විය යුතුයි” මොහමඩ් හෆීස් වැඩිදුරටත් සඳහන් කරනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







