leader s

ටෙනිස් තාරකාවකට කළ බිය උපදවන තර්ජනයක් පිළිබඳව තුර්කියේ ඇන්ටල්යා නගරයෙන් වාර්තා වනවා.
පවුලේ අයට කරන ලද මේ තර්ජනයට ලක්ව සිටින්නේ ලොව අංක 95 ට ශ්‍රේණිගතව සිටින හංගේරියානු ටෙනිස් ක්‍රීඩිකා පන්නා උදුවාර්දි (Panna Udvardy).

කාන්තා ටෙනිස් සංගමයේ Antalya WTA 125 තරගාවලියේ ඇය සහභාගි වන තරගය ඇය පරාජය විය යුතු බවටත් එසේ නොවුනහොත් ඇගේ පවුල ඉලක්ක කරගනු ඇති බවටත් අනතුරු අඟවමින් උදුවාර්දි බිය ගන්වා ඇත්තේ තුවක්කුවක පිංතූරයක් ද සහිත ‘වට්ස්ඇප්’ පණිවුඩයක් එවමින්.

නොදන්නා අංකයකින් තමාට ඉතාමත් අවුල් සහගත පණිවුඩ කිහිපයක් ‘වට්ස්ඇප්’වලින් ලැබුනු බව සිය අර්ධ අවසන් පූර්ව පරාජයෙන් පසුව ‘ඉන්ස්ටග්‍රෑම්’ හි පෝස්ටුවක් තබමින් ඇය කියා තිබෙනවා.
 
649121063 18569754235010668 4182736107393030857 n
“ඔවුන් ගිනිඅවියක පිංතූරයක් එවුවා” යනුවෙන් ඇය ලියා තිබෙනවා.

“මම මගේ තරගය පැරදුනේ නැත්නම්, ඔවුන් මගේ පවුලේ අයව ඉලක්ක කර ගන්නවා කියලා එම පුද්ගලයා මට කීවා.”

“මගේ පවුලේ අය ජීවත් වෙන්නේ කොහේ ද, ඔවුන් පදවන්නේ මොන වාහන ද කියලා ඔවුන් දන්නා බවත් ඔවුන්ගේ දුරකථන අංකත් ඔවුන් ළඟ තිබෙන බවත් ඔවුන් පැවසුවා.”

“මගේ පවුලේ සාමාජිකයන්ගේ හා ගිනිඅවියක ඡායාරූප පවා ඔවුන් එවා තිබුණා.”

මේ තර්ජන පිළිබඳව තමා තරගාවලියේ නිලධාරීන්ට හා තමාගේ ආදරණීයයන්ට වහාම දැනුවත් කළ බව උදුවාර්දි කියනවා.

“මම වහාම WTA (කාන්තා ටෙනිස් සංගමය) අධීක්ෂණ නිලධාරියාට කතා කර ඔහුට ඒ පණිවුඩවල ඡයාරූප (screenshots) යැවුවා. මම මගේ පවුලේ අයටත් මේ බව දැන්වූ විට ඔවුන් සැණින් එය දේශීය කොන්සල් කාර්යාලයට දැන්නුවා.”

“මේ හා සමාන තර්ජන අනෙක් ක්‍රීඩිකාවන්ටත් ලැබී තිබෙනවා කියලා නිලධාරියා මට කීවා.”

“දත්ත සමුදායෙන් පෞද්ගලික තොරතුරු රහසේ පිටකර ඇති බවට සැක කරන ඔවුන් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව කීවා.”

මේ තර්ජන ඉතාමත් බරපතල ලෙසින් සැලකීමෙන් පසුව උදුවාර්දිගේ තරගය අතරතුර ඇගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් තිදෙනෙකු යොදවා තිබුණා. අවසානයේදී ඇය යුක්රේනයේ  අන්හෙලීනා කලීනිනා ට 7-6, 7-5කින් පරාජය වුණා.

ආරක්ෂක පියවරක් ලෙස පොලිසිය ඇගේ මව්පියන්ගේ නිවසට ද ගොස් තිබුණා.

මේ බියකරු සිදුවීම වාර්තා වන්නේ Indian Wells විවෘත තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගය අතරතුර ඉතාලි ටෙනිස් ක්‍රීඩිකා ලුකරෙට්සියා ස්ටෙෆනීනි ද මේ ආකාරයේ ම වේදනාකාරී අත්දැකීමකට මුහුණ දී දින කිහිපයක් පමණක් ගෙවී යාමෙන් පසුව.

ගිනිඅවියකින් තර්ජනය කරමින් හා තමාගේ පවුලේ විස්තර පිළිබඳව සඳහන් කරමින් ‘වට්ස්ඇප්’ පණිවුඩ තමාට ද ලැබුණු බව ස්ටෙෆනීනි කියා සිටිනවා.

“මම තරගය ජය ගැනීම ගැන මට තර්ජනය කරමින් ‘වට්ස්ඇප්’ පණිවුඩයක් මට ලැබුණා” යනුවෙන් ඇය පවසනවා.

“මටත් මගේ පවුලටත් තර්ජනය කළ ඔවුන් මගේ මව්පියන්ගේ නම්, මම උපන් ස්ථානය දන්වමින් තුවක්කුවක පිංතූරයක් මට එවුවා.”

අංක 138 ට ශ්‍රේණිගතව සිටින ස්ටෙෆනීනි WTA 1000 තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු වටයේදී ඇන්ඩෝරාවේ වික්ටෝරියා ඉමෙනෙස් කෑසන්ටොවා ට 4-6, 6-4, 6-4කින් පැරදුනා.

“මම මට සිද්ධ වුන දේ ගැන විස්තර කරන්නේ තරගයකට පෙර මාව මෙවැනි පීඩනයකට හා අපහසුතාවකට පත්කිරීම හරි නැති නිසයි” ස්ටෙෆනීනි පවසනවා.

“මම ඉක්මනින්ම මේ බව WTA ට දැන්වූ විට ඔවුන් ම‌ගේ ආරක්ෂාව වැඩි කළා. මුළු තරගාවලිය ම මට ආරක්ෂාවක් දැනෙන විදියට සංවිධානය වුණා. ඒ සියල්ල එසේ තිබියදීත් මම අවසානය දක්වා සටන් කරමින් මගේ තරගය දිනන්න උත්සාහ කළේ මාව බයකරන්න ඒ පුද්ගලයන්ට ඉඩ දිය නොහැකි නිසා.”

මේ සිද්ධිය ඉවසිය නොහැකි දෙයක් බව ඉතාලි ටෙනිස් සම්මේලනයේ සභාපති ඇන්ජලෝ බිනගි (Angelo Binaghi) ප්‍රකාශ කරනවා.

තවත් ඉතාලි ක්‍රීඩකයෙකු වන මටියා බෙල්ලූචි ට ද මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කර තිබුණා.

2024 වසරේ ලැබුණු අපවාදාත්මක, ප්‍රචණ්ඩකාරී හෝ තර්ජනාත්මක ලෙසින් ලේබල් කළ මාර්ගගත පෝස්ටු හා ප්‍රකාශ 8,000ක් නිරික්සනය කර ඇති බවට කාන්තා ටෙනිස් සංගමය හා ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය ප්‍රකාශ කිරීමෙන් පසුව තර්ජනාත්මක ප්‍රකාශයන් අවහිර කිරීම පිණිස කෘතිම බුද්ධිය යොදා ගැනීමට සැලසුම් සකස් වෙමින් තිබෙනවා.

එසේ වුනත්, මේවාට වගකිව යුත්තන් හඳුනා ගෙන ඔවුන්ට දඬුවම් කිරීමට අමතරව, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරක්ෂා කිරීම පිණිස දැඩි ශක්තියෙන් යුත් ජාත්‍යන්තර ක්‍රමවේදයක් අවශ්‍ය බව ඉතාලි ටෙනිස් ප්‍රධානියා අවධාරණය කරනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්