ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීම පිණිස වීසා ලබා දුන් ඉරාන පාපන්දු ක්‍රීඩිකාවන් පස් දෙනාට අමතරව තවත් දෙදෙනෙකුටත්
එම රැකවරණය ලබා දී තිබුන ද එයින් එක් ක්‍රීඩිකාවක් ඊයේ රාත්‍රියේ ඇගේ තීරණය වෙනස් කළ බව ඔස්ට්‍රේලියාව පවසනවා.
“ඔස්ට්‍රේලියාවේ නතර වෙන්න ඊයේ රාත්‍රියේ තීරණය කළ දෙදෙනාගෙන් කෙනෙක් ඔස්ට්‍රේලියාවෙන් පිටව ගිය කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට කතා කිරීමෙන් පසුව ඇගේ තීරණය වෙනස් කළා” යනුවෙන් ආගමන කටයුතු පිළිබඳ ඇමති ටෝනි බර්ක් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔස්ට්‍රේලියාවේ තවදුරටත් රැඳී සිටීමට අවසර දෙමින් මුලින් වීසා ලබා දුන් ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ නායිකා සහරා ඝන්බාරි ඇතුළු ක්‍රීඩිකාවන් පස් දෙනා සමග තවත් ක්‍රීඩිකාවක් සහ ආධාරක සේවක මණ්ඩලයේ සාමාජිකාවක් පසුව එක්ව සිටියා.
ආසියානු කුසලාන තරගාවලියේ ඉවතට විසි වී දින දෙකකට පසුව ඉතිරි ඉරාන ක්‍රීඩිකාවන් ඊයේ රාත්‍රියේ ඔස්ට්‍රේලියාවෙන් පිටව ගියා.
“ඔස්ට්‍රේලියාවේදී ජනතාවට ඔවුන්ගේ හිතේ තියෙන දේවල් වෙනස් කරන්න පුළුවන්. ඇය එම තීරණය ගැනීමට හේතුවූ කරුණුවලට අපි ගරු කරනවා” බර්ක් කියා සිටියා.
“අවාසනාවකට, ඒ තීරණයෙන්, ඇයව බාර ගැනීම පිණිස ඉරාන තානාපති කාර්යාලයට දන්වන ලෙසට ඇගේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හා පුහුණුකරු ඇයට උපදෙස් දී තිබුණා.”
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉරාන තානපති කාර්යාලය ඔස්ට්‍රේලියාවේ රැඳි සිටීමට තීරණය කළ අනෙක් ඉරාන ක්‍රීඩිකාවන් සිටින ස්ථානය දැනගෙන තිබෙනවා.
“මම වහාම ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසට උපදෙස් දුන්නා” යනුවෙන් බර්ක් පැවසුවා. අදහස වෙනස් කිරීම ඇගේ ම තීරණයක් බවට තහවුරු කර ගැනීම පිණිස නිලධාරීන් ඇගෙන් ඇසිය යුතු සෑම ප්‍රශ්නයක් ම ඇසූ බව ද ඔහු ප්‍රකාශ කළා.
දකුණු කොරියාව සමග තරගාවලියේ සිය ආරම්භක තරගයේදී ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම ඔවුන්ගේ ජාතික ගීය නොගැයීමෙන් පසුව ඉරානයේදී ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කළ ඔස්ට්‍රේලියානු රජය ඉරාන නියෝජිත පිරිසේ ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට දේශපාලන රැකවරණ ලබා දුන්නා. මේ පස් දෙනාව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසි ඔවුන් නැවතී සිටි හෝටලයෙන් ඉවත් කරගෙන ආරක්ෂිත ස්ථානයකට ගෙන ගියේ ඔවුන් යන එන තැන් පාලනය කරමින් සිටි ඉරාන රජයේ නිලධාරීන්ට හොරෙන්. ක්‍රීඩිකාවන් අතුරුදන් වීමෙන් පසුව මේ නිලධාරීන් මහත් කලබලයෙන් යුතුව හැසිරෙමින් හෝටලය ඇතුළත හා ඉන් පිටත අවට ප්‍රදේශය පීරමින් ක්‍රීඩිකාවන් පස් දෙනා සොයා ගැනීමට වෙහෙසුනු බව වාර්තා වනවා.
ඉන්පසුව, ඉරාන නියෝජිත පිරිසේ සිටි තවත් දෙදෙනෙක්, එනම් ක්‍රීඩිකාවක් සහ ආධාරක සේවක මණ්ඩලයේ සාමාජිකාවක් ද ගෝල්ඩ් කෝස්ට් හි හෝටලයේ ඉරාන සංචිතයෙන් වෙන්කළේ ඒ දෙදෙනා ද ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට කැමති බවට ඇඟවීමෙන් පසුව. අනතුරුව මේ දෙදෙනාව බ්‍රිස්බන් නුවර පොලිස් රැකවරණ ස්ථානයකට ගෙන ගියා.
ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි සියලුම කාන්තාවන්ට ඉක්මනින් ස්ථිර පදිංචිය ලබා දීමට කටයුතු කරන බව බර්ක් සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දක්වා සිටි බර්ක්, ඉරාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ සිඩ්නි ගුවන් තොටුපළෙන් සියරට බලා පිටත්ව යාමට පෙර එම පිරිසේ ඉතිරිව සිටි බොහෝ දෙනෙකුට ඔස්ට්‍රේලියාවේ නතර වන ලෙසට නැවත නැවත යෝජනා කළ බව පාර්ලිමේන්තුවට දන්වා සිටියා.
ක්‍රීඩිකාවන් භාෂා පරිවර්තකයෙක් හරහා ඔස්ට්‍රේලියානු නිලධාරීන් සමග තනි තනිව කතා කරද්දී සහ ඔවුන්ගේ පවුලේ අයට දුරකථනයෙන් කතා කිරීමට අවස්ථාව ලබා දෙද්දී ඔවුන්ව කණ්ඩායම බාරව සිටි ඉරාන නිලධාරීන්ගෙන් වෙන්කර තබා ගැනීම සහතික කිරීම පිණිස සැලකිය යුතු ප්‍රමාණයක පොලිස් නිලධාරීන් පිරිසක් සිඩ්නි ගුවන් තොටුපළට යොදවා තිබූ බව බර්ක් සඳහන් කළා.
ඒහිදී වෙනත් කිසිම කෙනෙක් ඔස්ට්‍රේලියාවේ නතර වන ලෙසට කළ යෝජනාව බාර නොගත් බව කී බර්ක්, එහෙත් එක් ක්‍රීඩිකාවක් පමණක් පවුලේ උදවිය සමග සාකච්ඡා කිරීමෙන් පසුව ගුවන් යානයට ගොඩවූයේ ඉතාමත් ප්‍රමාද වී බව කියා සිටියා.
“ඒ පුද්ගලයා එයා විසින් ම එයාගේ තීරණය ගත්තා” යනුවෙන් බර්ක් පැවසුවේ ගුවන් යානයට ඇතුළු වන ලෙසට ඔවුන්ට කිසිම බලපෑමක් නොකළ බව පෙන්වා දෙමින්.
සංචාරක පිරිස අතර සිටි කුඩා සංඛ්‍යාවකට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින ලෙසට ආරාධනය නොකළ බවත් ඒ ඔවුන් ක්‍රීඩිකාවන් බාරව සිටි ඉරාන රජයේ නිලධාරීන් නිසා බවත් ඔහු පැවසුවා.
“ඔස්ට්‍රේලියාවේ නතර නොවන නිසා මම සතුටු වන කිහිප දෙනෙකුත් ඒ පිරිසේ සිටියා” බර්ක් කීවා.
ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන ගෝල්ඩ් කෝස්ට් හි සිට ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම ඊයේ සවස සිඩ්නි ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී ඔවුන්ට සහාය ලබා දෙමින් ඔවුන් යළි ඉරානය ට යැවීමට විරෝධය පළ කිරීම පිණිස ඔස්ට්‍රේලියානු-ඉරාන ප්‍රජාවේ සාමාජිකයින් එහි රොක්ව සිටියා.
කණ්ඩායමේ සමහර ක්‍රීඩිකාවන් උදව් ඉල්ලා සංඥා කර තිබූ බවට එම සාමාජික පිරිස කියා සිටියා. එහෙත්, කණ්ඩායම සිඩ්නි නගරයෙන් පිටත්ව යාමට පෙර දේශසීමා බලකායේ නිලධාරීන් ක්‍රීඩිකාවන් සියලු දෙනාවම පෞද්ගලික හමුවී කිහිප වතාවක්ම ඔවුන් සමග සාකච්ඡා කළ බව බර්ක් පැවසුවා. නමුත් වැඩිමහලු කාන්තාවන්ගේ රැකවල් යටතේ සිටි සමහර ක්‍රීඩිකාවන් ඔවුන්ට යළි ඉරානය ට යාමට අවශ්‍ය බව කියා තිබුණා.
ක්‍රීඩිකාවන් ජාතික ගීය ගායනා කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඉරානය විසින් “යුදසමයේ ද්‍රෝහීන්” ලෙස හංවඩු ගසා තිබෙන කණ්ඩායමට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ඉරානයේදී කුමන ආකාරයේ විපාකයන්ට මුහුණ දීමට සිදුවේවි ද යන්න දැනගන්නට නැහැ.
තරගාවලියේ පසුව පැවති තරග දෙකේදී ඉරාන කාන්තා ජාතික පාපන්දු කණ්ඩායම ඔවුන්ගේ ජාතික ගීය ගායනා කළේ ඔවුන් සමග සංචාරයේ යෙදී සිටි ඉරාන රාජ්‍ය නිලධාරීන්ගේ බලකිරීම අනුව බව පැවසෙනවා.
කණ්ඩායම රැගෙන යමින් සිටි බස්රථය ඊයේ පෙරවරුවේ ගෝල්ඩ් කෝස්ට් හෝටලයෙන් පිටවෙද්දී සමාජ ක්‍රියාකාරීන් එය හරස් කළ අතර එම පිරිස අතරේ සමහරු ඔසවා ගෙන සිටියේ ඉරානයේ ඉස්ලාමීය විප්ලවයට පෙර නිල රාජ්‍ය ධජය ලෙස තිබූ සිංහයා සහ හිරුගේ කොඩිය.
ඉරාන ජාතික ගීය ගායනා කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ඔස්ට්‍රේලියාවේ ඉතාමත් ජනප්‍රියව සිටිනවා. “මේ නිර්භීත කාන්තාවන්ගේ අනතුරුදායක තත්ත්වය ගැන ඔස්ට්‍රේලියානුවන් සිටින්නේ ඉතාමත් හැඟීබරව” යනුවෙන් ඔස්ට්‍රේලියානු අගමැති ඇන්ටනී ඇල්බනීස් ඊයේ මාධ්‍ය හමුවකදී කියා සිටියා.
ඉරාන ක්‍රීඩිකාවන්ගේ තත්ත්වය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ද අවධානයට යොමුවුණා. මේ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙසට සිය සමාජ මාධ්‍ය වේදිකාවෙන් ඉල්ලා සිටි ට්‍රම්ප්, ඔස්ට්‍රේලියාව මේ කාන්තාවන්ට දේශපාලන රැකවරණය ලබා දිය යුතු බවත් එසේ නොවන්නේ නම් අමෙරිකාව ඔවුන් බාරගන්නා බවත් කියා තිබුණා.
ඔස්ට්‍රේලියාවේ නතර වීමට මුලින්ම තීරණය කළ ඉරාන පාපන්දු ක්‍රීඩිකාවන් පස් දෙනාගෙන් හතර දෙනෙකු ම ඉරාන කාන්තා ශූරතාවලිය වාර්තාගත එකොළොස් වතාවක් ජයග්‍රහණය කළ Bam Khatoon ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩිකාවන්. නායිකා ඝන්බාරි ද මේ තරග වාරයේදී Persepolis කණ්ඩායමට එක්වීමට පෙර ක්‍රීඩා කළේ එම ක්‍රීඩා සමාජයට.
ආසියානු ශූරතා ලීග් තරගයක ගෝලයක් ලබා ගැනීමෙන් ප්‍රීතිවෙමින් සිටියදී ඝන්බාරිගේ හිසෙන්, සියලුම ඉරාන කාන්තාවන් හිස් ආවරණය කර ගනිමින් පැළඳිය යුතු හිජාබය ලිස්සා යාම හේතුවෙන් 2024 වසරේදී ඇයට දින ගණනාවක තරග තහනමක් පනවා තිබුණා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







