පොප් සංගීතයේ රැජින ලෙසින් බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබන අමෙරිකානු ගායිකා මැඩෝනා 1990 වසරේ ස්පාඤ්ඤයේ බලයිදෝස් ක්‍රීඩාංගණයේ පැවති ප්‍රසංගයේ පැළඳ සිටි වසර 36ක් පැරණි පාපන්දු කමිසය සොයා ගැනීමේ දැඩි උත්සාහයක එම ක්‍රීඩාංගණය නිවහන කරගත් සෙල්ට වීගෝ (Celta Vigo) පාපන්දු ක්‍රීඩා සමාජය නිරතව සිටිනවා.
මැඩෝනා 1990 ජූලි මාසයේ පැවැත්වූ ඇගේ Blonde Ambition නමැති ප්‍රසංග ලෝක සවාරිය අතරතුර එම ක්‍රීඩා සමාජයේ නිල් වර්ණවලින් යුත් කමිසය පැළඳ මේ ක්‍රීඩාංගණ වේදිකාවේ පෙනී සිටියා. එහිදී ඇය Jose Manuel Espinosa නමැති ආරක්ෂක පෙල ක්‍රීඩකයාගේ අංක 5 දරණ කමිසය පළඳිමින් ඔහුට අනපේක්ෂිත අවධානයක් ගෙන දුන්නා.

කෙසේ වෙතත්, මහත් ඇල්මෙන් රැකබලා ගත් ඒ කමිසයට සිදුවූයේ කුමක් ද යන්න කිසිවෙකුත් නොදන්නා අතර දශක ගණනාවක් තිස්සේ ප්‍රතිඵලයක් නැතිව කළ තියුණු පිරික්සා බැලීමකින් පසුව සෙල්ට පාපන්දු සමාජය ඔවුන්ගේ ලේඛනාගාරයේ තැන්පත් කිරීම පිණිස එම කමිසය සොයා ගැනීම සඳහා උපකාරී වන ලෙසට 67 හැවිරිදි වියේ පසුවන මැඩෝනාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
“වේදිකාවේදී ඔබ ඇඳ සිටි එකම පාපන්දු කමිසය අපේ කමිසය පමණක් නොවුනත්, මේ ප්‍රතිරූපය අවුරදු ගණන් ගතවෙද්දී වෙනස් විදියට දිලිසෙමින් තිබෙනවා” යනුවෙන් සෙල්ට පාපන්දු සමාජයේ සභාපති මේරියන් මෝරිනෝ ටෙරාසෝ (Marian Mourino Terrazo) මැඩෝනා ට යැවූ විවෘත ලිපියක ලියා තිබෙනවා.
“ඒ කමිසය ඔබ ලඟ තියෙනවා ද? ඒක තියෙන තැන ඔබ දන්නවා නම් හෝ එය සොයා ගැනීම සඳහා අපි දරන උත්සාහයට ඔබත් එකතු වෙන්න කැමති නම්, කරුණාකර අපව පෞද්ගලික පණිවුඩ ඔස්සේ අමතන්න” යනුවෙන් එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
මේ ඉල්ලීම පසුගිය බදාදා පළවීමෙන් පසුව සමාජ මාධ්‍යයේ කැළඹීමක් හටගත් අතර සිකුරාදා රේආල් මැඩ්රිඩ් කණ්ඩායම සමග පැවති තරගය ආරම්භ වීමට පෙර මැඩෝනාගේ ගීත වාදනය කරමින් සහ ඇයගේ ඡායාරූපයක් තරග පිටියේ හා සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කරමින් සෙල්ට විගෝ කණ්ඩායම එම කැළඹිල්ල තවත් වැඩිකළා.
මේ දෝංකාරය පොප් ගායිකාවගේ සවනට මුසුවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව මෝරිනෝ ටෙරාසෝ දේශීය මාධ්‍යට කියා සිටියා.
“අපේ ලියුම මැඩෝනා ට ලැබී ඊට ඇය පිළිතුරක් ලබා දෙයි කියලා මම හිතනවා!”
Holiday නමැති ජනප්‍රිය ගීතයෙන් 1983 වසරේදී ප්‍රසංග වේදිකාවට පිවිසි මැඩෝනා ඉක්බිති Like a Virgin, Papa Don’t Preach සහ Ray of Light ඇතුළු ‘ටොප්-ටෙන්’ ගීත මාලාවක් මගින් ජනප්‍රියත්වයේ හිණිපෙත්තට පිවිසියා.
ගීත පටිගත කිරීමේ එක් වඩාත්ම සාර්ථක කලාකාරියක ලෙසින් මැඩෝනා අදත් රැඳී සිටිනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







