1896 වසරේ ඇතන්ස් නුවර පැවති පළමු නවීන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් එහි ඇස්තමේන්තුගත වටිනාකමට වඩා
තුන් ගුණයකටත් වැඩි මුදලකට අලෙවි වී තිබෙනවා.
බෲන් රෑස්මසන් (Bruun Rasmussen Arts Auctioneers) නමැති ඩෙන්මාක වෙන්දේසි නිවහනට අනුව මේ පදක්කම විකිණී තිබෙන්නේ අමෙරිකානු ඩොලර් 94,302කට ආසන්න මුදලකට (ඩෙන්මාක් ක්‍රෝන් 900,000).
මෙම ඔලිම්පික් පදක්කම ජාත්‍යන්තර සමරු එකතු කරන්නන් අතරේ ඉතාමත් දුර්ලභ වස්තුවක් නියෝජනය කරන බව බෲන් රෑස්මසන් හි කාසි හා මුද්දර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Christian Grundtvig ප්‍රකාශ කරනවා. “ඔලිම්පික් හා සංස්කෘතික ඉතිහාසයේ සුවිශේෂ සම්මිශ්‍රණයක් වන මෙය අපේ වෙන්දේසි නිවහන ඉතිහාසයේ පදක්කම් ක්ෂේත්‍රය තුළ සිදුවූ වඩාත්ම අපූර්ව විකිණීම බවට කිසිම සැකයක් නැහැ.”
නවීන යුගයේ ප්‍රථම ඔලිම්පික් ක්‍රීඩා උළෙල 1896 වසරේ අප්‍රේල් මාසයේ පැවැත්වුනේ රටවල් 14කින් පැමිණි ක්‍රීඩකයින් 241 දෙනෙක් ඉසව් 43ක තරග කරමින්. මේ පදක්කමේ ජයග්‍රාහකයා කවුරුන් ද යන්න බෲන් රෑස්මසන් ට තහවුරු කිරීමට නොහැකි වී තිබෙනවා.
මේ වෙන්දේසි නිවහන විසින් 1896 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කමක් අලෙවිය සඳහා පිළිගන්වනු ලැබූ පළමු අවස්ථාවයි මේ.
මේ පදක්කම කැටයම් කර තිබෙන්නේ ප්‍රංශ කලාකරු Jules-Clement Chaplain.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී








