බංග්ලාදේශය ට එරෙහි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාවේ ජයග්‍රාහකයින් තීරණය වීමේ තරගයෙන් පරාජය වීමෙන් පසුව කෝපාවිෂ්ට වූ පාකිස්තානය ඉරිදා පැවති තීරණාත්මක තරගයේ පිටියේ විනිසුරුවකු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ට විරුද්ධව පැමිණිලි කර තිබෙනවා.
තරගමාලාව 1-1ක් ලෙස සමව තිබූ බැවින් ධකා නුවර පැවති තෙවැනි තරගය සමස්ත ජයග්‍රාහකයින් තීරණය වීමේ තරගය බවට පත්ව තිබුණා. බංග්ලාදේශය ලකුණු 291ක ඉලක්කයක් පාකිස්තානය ට ලබා දුන් අතර සල්මන් අලි අඝා පන්දු 98කින් ලකුණු 106ක් රැස්කර තිබියදීත් පාකිස්තානය ට ජයග්‍රහණය සඳහා ලකුණු 11ක් අඩු වුණා. පා දඟ පන්දු යවන රිෂාඩ් හොසේන් විසින් යවනු ලැබූ අවසන් ඕවරයෙන් පාකිස්තානය ට එක් කඩුල්ලක් අතැතිව ලකුණු 14ක් අවශ්‍යව තිබුණා.

පළමු පන්දු හතර අවසන් වන විට පාකිස්තානය ට ලබා ගත හැකිව තිබුණේ ලකුණු දෙකක් පමණයි. ඒ අනුව අවසාන පන්දු දෙකෙන් ලකුණු 12ක් අවශ්‍ය තිබුණා. ෂහීන් අෆ්රිඩි ට හොසේන් එවූ අවසාන පන්දුවට පෙර පන්දුව ‘වයිඩ්’ පන්දුවක් ලෙසට පිටියේ තරග විනිසුරු කුමාර් ධර්මසේන තීරණය කළේ පාකිස්තානය ට ජයග්‍රහණය සඳහා තවත් අවස්ථාවක් උදා කරමින්.
නමුත් පා පෙදෙසෙන් ගිය එම පන්දුවට ධර්මසේන දුන් තීරණය හොසේන් පිළිගත්තේ නැහැ. ‘වයිඩ්’ පන්දුවක් නැවත නිරීක්ෂණය කිරීම පිණිස DRS ක්‍රමවේදය යොදාගත නොහැකි බැවින් එය කඩුල්ල මුවා කිරීමක්දැයි පරීක්ෂා කිරීම සඳහා තෙවැනි විනිසුරුට යොමු කරන ලෙසට බංග්ලාදේශය ධර්මසේනගෙන් ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් බංග්ලාදේශය තෙවැනි විනිසුරු වෙත යොමුවුනේ පිටියේ සවිකර තිබෙන යෝධ රූපවාහිනී තිරයේ දිස්වූ පුනරීක්ෂණය නැරඹීමෙන් පසුව පමණක් බවට පාකිස්තානය පැමිණිලි කර සිටියේ බංග්ලාදේශය ට එසේ ක්‍රියා කිරීමට අවසර නැති බැවින්. මීට අමතරව, කාල ගණකයක් ප්‍රදර්ශනය වීමක් ද නොතිබූ බැවින් DRS ඉල්ලීම සිදුවුනේ ඒ සඳහා නියමිත තත්පර 15ක උපරිම කාලසීමාව ඇතුළත ද යන්න පිළිබඳවත් සැකයක් මතුව තිබුණා.
ඒ අනුව, ධර්මසේන බංග්ලාදේශය ට එම DRS අවස්ථාව ලබා දුන්නේ සම්මත නීතිවලට පටහැනිව බවට තර්ක කරමින් පාකිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තරග විනිසුරුවරයා වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
පන්දුව අෆ්රිඩිගේ පිත්ත පසුකර යද්දී එය පා ඇඟිල්ල අග ස්පර්ශ වූවා ද යන සෙයක් DRS විසින් පෙන්නුම් කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පිටියේ තරග විනිසුරුගේ ‘වයිඩ්’ තීරණය අහෝසි වූ අතර ඒ සමග නීතිවිරෝධී පන්දුවකින් පාකිස්තානය ට ලැබිය යුතුව තිබූ අමතර පන්දුවක් අහිමිව ගියා.
එම පන්දුව නීත්‍යානුකූල බවට තීරණය වීමත් සමග තරගයේ ඉරණම තහවුරු වුනේ පාකිස්තානය ට ජයග්‍රහණය පිණිස අන්තිම පන්දුවෙන් ලකුණු 12ක් අවශ්‍ය වූ බැවින්. අෆ්රිඩි අවසන් පන්දුවට ‘ස්ටම්ප්’ වීමත් සමග බංග්ලාදේශය ට ලකුණු 11ක ජයක් සහ 2-1ක තරගමාලා ජයග්‍රහණයක් හිමිවුණා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







