ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පළමු පෙල ක්‍රිකට් ලකුණු 10,000 සම්පූර්ණ කිරීමට සමත්ව සිටිනවා.
ප්‍රධාන ලීග් තරගාවලිය (Major League Tournament) යටතේ සී.සී.සී. (CCC – Colombo Cricket Club) හා බී.ආර්.සී. (BRC – Burgher Recreation Club) කණ්ඩායම් අතර සතිඅන්තයේ පැවති තරගය අතරතුරදීයි ඔහු මේ ලකුණු දසදහස සම්පූර්ණ කළේ.
පළමු පන්දුවට පහර දීම පිණිස කැඳවනු ලැබූ සී.සී.සී. කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ධනංජය අංක 4 පිතිකරු ලෙස කඩුල්ලට පිවිසියේ මුළු ලකුණු 84දී කමිඳු මෙන්ඩිස්ගේ දැවී යාමෙන් පසුව. ඉක්බිති ඔහු දුල්නිත් සිගේරා සමග තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 101ක් රැස් කිරීමෙන් පසුව අන්ජල බණ්ඩාර සමග ලකුණු 282ක දැවැන්ත හය වැනි කඩුලු සබඳතාවක් ගොඩනැගුවා.
මේ සබඳතාව අතරතුර ධනංජය ඔහුගේ කලින් තිබූ වැඩිම පළමු පෙල ලකුණු සංඛ්‍යාව වූ 173 පසුකරමින් සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කළේ ඔහු සහභාගි වූ 151 වැනි තරගයේ. සමස්තයක් ලෙස මෙය ඔහු ඉලක්කම් තුනේ ලකුණු ප්‍රමාණයකට පිවිසි 29 වැනි වතාවයි.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයා සතිඅන්තයේ තරගයට සහභාගි වූයේ ඔහුගේ නමින් පළමු පෙල ලකුණු 9,796ක් සතුකර ගෙන ඉලක්කම් පහේ ලකුණු සංඛ්‍යාවට පිවිසීමට ලකුණු 204ක් අවශ්‍යව තිබියදී. ඔහු හරියටම රැස්කර ගත්තේ ද එම ලකුණු ප්‍රමාණයයි.
පළමු පෙල ක්‍රිකට් ලකුණු 10,000 ලබා ගත් 26 වැනි ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නේ ධනංජය ද සිල්වා. වැඩිම පළමු පෙල ලකුණු වාර්තා කළ ශ්‍රී ලාංකිකයින් අතරේ කුමාර් සංගක්කාර (ලකුණු 20911) හා මහේල ජයවර්ධන (17843) ඉහළින්ම සිටීම අරුමයක් නෙවෙයි.
ධනංජයගේ පළමු පෙල ක්‍රිකට් ලකුණු දසදහසෙන් 4,133ක් වාර්තා වී තිබෙන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන්. එහි සාමාන්‍යය 38.99ක්.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







