පාකිස්තාන තුන් ඉරියව් ක්‍රිකට් ලෙජන්ඩ් සහ හිටපු නායක ෂහිඩ් අෆ්රිඩි තමාගේ බෑණා වන ෂහීන් ෂා අෆ්රිඩි පාකිස්තානයේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් (ODI) කණ්ඩායමේ නව නායකයා ලෙස පත්කිරීම පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට (PCB) ප්‍රබල විවේචනයක් එල්ල කර තිබෙනවා.
පාකිස්තාන ක්‍රිකට් තේරීම් නිලධාරීන් පසුගිය වසරේදී වමතින් වේග පන්දු යවන ෂහීන් අෆ්රිඩි ODI නායකත්වයට නම් කළ අතර ඔහුගේ නායකත්වය යටතේ පාකිස්තානය ගෙවුණු සතියේදී බංග්ලාදේශය හමුවේ 1-2ක අප්‍රසන්න තරගමාලා පරාජයක් ලැබුවා.
දශක දෙකකට ආසන්න කාලයක් පාකිස්තානය නියෝජනය කළ ෂහිඩ් අෆ්රිඩි, කණ්ඩායම ප්‍රතිසංස්කරණය කිරීමේ දීර්ඝ කාලීන උපායක් යැයි කියමින් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගවල හොඳින් ක්‍රීඩා කර තිබෙන ක්‍රීඩකයින් ඉවත් කිරීම ද ඇතුළුව ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් PCBය සහ පාකිස්තාන ක්‍රිකට් තේරීමේ කමිටුව දැඩි විවේචනයට ලක්කරන වීඩියෝවක් X සමාජ මාධ්‍ය වේදිකාවේ පෝස්ට් කර තිබෙනවා.
“2026 T20 ලෝක කුසලානයේ පාකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩාව අපි දුටුවා. ඊට පස්සේ, අපි බංග්ලාදේශ තරගමාලාවත් 2-1කින් පැරදුනා. මගේ මතයට අනුව, තේරීම් කමිටුව විවේචන ලැබීමට සුදුසුයි. කමිටුවේ සිටින ඔබ සියලු දෙනාම ගොඩක් ක්‍රිකට් ක්‍රීඩා කර තියෙනවා. එහෙම වෙලත්, ඒ ඒ ශෛලියේ ක්‍රිකට් ක්‍රීඩාවේ නායකයා විය යුත්තේ කවුද කියලා ඔබ තුළ අදහසක් තියෙන බවක් පේන්න නැහැ” යනුවෙන් ෂහිඩ් පවසා තිබෙනවා.
“කණ්ඩායම ප්‍රතිසංස්කරණය කිරීමේ උපායක් යන නාමයෙන් ඔබ අවශ්‍ය තරමට වඩා වැඩි තීරණ ගනිමින් සිටිනවා. ඔබ කරන්නේ යාන්තම් පළමු පෙල තරග කිහිපයක් ක්‍රීඩා කර තිබෙන තරුණයින් හා ක්‍රීඩකයින් තෝරා ගැනීමයි. පාකිස්තාන කණ්ඩායමේ ස්ථානයක් තහවුරු කර ගැනීමට සූදානම් ක්‍රීඩකයින් නිත්‍ය වශයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙන ප්‍රමිතියක් ඔබේ දේශීය ක්‍රිකට් ව්‍යුහයට පවා නැහැ. ශක්තිමත් T20 ක්‍රීඩාවක් නැතත් කණ්ඩායමේ ස්ථානයක් ඇත්තෙන්ම ලැබීමට සුදුසු ඉතා හොඳ ODI වාර්තාවක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට තිබුණා. නමුත් ‘ප්‍රතිසංස්කරණය’ යන නාමයෙන් ඔබ පළපුරුදු ක්‍රීඩකයින්ව පැත්තකට දැමුවේ ඔවුන්ට ශක්තිමත් ODI ක්‍රීඩාවක් තිබියදීයි.”
“ඒ වෙනුවට ඔබ දේශීය හා පළමු පෙල තරග ටිකක් පමණක් ක්‍රීඩා කර ඇති තරුණයින්ව කණ්ඩායමට ගෙන ආවා. දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ප්‍රමාණවත් ඉහළ තත්ත්වයක නැහැ. ඒ ක්‍රීඩකයින් කෙළින්ම පාකිස්තාන කණ්ඩායමට පිවිස ඔවුන්ගේ ස්ථානය ස්ථිර කර ගැනීමට සූදානම් නැහැ. ඔබ නැවත නැවතත් පාකිස්තාන ජාතික ක්‍රිකට් කැප් තොප්පිය බාරදෙමින් සිටිනවා. මේක ‘ප්‍රතිසංස්කරණය’ නෙවෙයි. ප්‍රතිසංස්කරණය කරනවා නම් සැබෑ ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබෙන්නේ තේරීම් කමිටුවටයි” හිටපු නායකයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
බංග්ලාදේශයේ කළ සංචාරයේදී පාකිස්තාන තේරීම් නිලධාරීන් සයිම් අයුබ් හා බාබර් අසාම් ODI සංචිතයෙන් ඉවත් කර තිබුණේ බාබර් පාකිස්තානය වෙනුවෙන් අවසාන ජාත්‍යන්තර එක්දින තරගමාලාවේදී ශතකයක් වාර්තා කර තිබියදී. ඔහු වෙනුවට ක්‍රීඩකයින් හය දෙනෙක් ඔවුන්ගේ ක්‍රීඩා දිවියේ ප්‍රථම වාතාවට සංචිතයට ඇතුළත් කර තිබූ අතර මේ හය දෙනා ම එම සංචාරයේදී පළමු වතාවට පාකිස්තානය වෙනුවෙන් තරග බිමට පිවිසියා.
නමුත් මේ ක්‍රීඩකයින් හය දෙනා අතරින් දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුනේ එක් ක්‍රීඩකයෙක් පමණයි.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී








