Gen Z පරම්පරාව සහ තරුණ නරඹන්නන්‌ගේ අවධානය ග්‍රහණය කර ගැනීම පිණිස සකස් කෙරුණු සැලැස්මකට අනුව
YouTube සමග නවතම ක්‍රියාමාර්ගයකට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) එළඹ සිටිනවා.
මෙම සහයෝගීත්ව ගිවිසුමට අනුව ලබන ජූනි 11 වැනිදා ඇරඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරගවල සජීවී කොටස් කෙළින්ම YouTube වේදිකාවට ගෙන ඒමට තරග විස්තර විකාශය කිරීමේ අයිතිය තිබෙන පාර්ශවයන්ට අවසර ලැබෙනවා.
මේ උපායමාර්ගයේ හරය වී තිබෙන්නේ තරගවල පළමු මිනිත්තු 10 සජීවීව YouTube වේදිකාවෙන් විකාශය කිරීම සඳහා තරග විස්තර විකාශකයින් උනන්දු කරවීමයි. නරඹන්නන්ව තරගය මුලදීම ග්‍රහණය කරගෙන ඉන්පසුව ඔවුන් සාම්ප්‍රදායික රූපවාහිනී ජාලයන්ට හෝ නිල වශයෙන් තරග විකාශය කරන යෙදුම්වලට (Apps) මාරුවී තරගයේ ඉතිරි කොටස නැරඹීමට යොමු කිරීම මේ ‘රුචිකාරක’ පිවිසීමේ අපේක්ෂාව වී තිබෙනවා.
තරගවල ආරම්භක කොටස්වලට එහා යන මේ එකඟතාවෙන් YouTube වේදිකාවේ වඩාත් ව්‍යාප්ත තරග ආවරණයකට දොරටු විවර වනවා. තරග විස්තර ගෙන එන්නන්ට ඔවුන්ගේ YouTube නාළිකාවන් ඔස්සේ තෝරා ගත් තරග සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් පෙන්වීමට ද හැකියාව ලැබෙන බවත් මෙමගින් ගෝලීය නරඹන්නන් සම්බන්ධ කරගෙන තරගාවලියේ වැඩි ප්‍රමාණයක් නැරඹිය හැක්කේ කොතැනින්දැයි ප්‍රවර්ධනය වන බවත් FIFA ප්‍රකාශ කරනවා. සාම්ප්‍රදායික කේබල් දායකවීම් අඩු වෙමින් තිබෙන කලාපයන්හි ලෝක කුසලාන පාපන්දුවේ පා සටහනේ ප්‍රමාණය විශාල කිරීමට මේ අලුත් සැලැස්මෙන් බලාපොරොත්තු වනවා.
ඩිජිටල් ප්‍රේක්ෂකයන් මුල් කරගත් මේ අලුත්ම සැලැස්මේදී ආදි යුගයේ තරග නැරඹීමට ඇති බලවත් ආශාව ද ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. පසුගිය තරගවල සම්පූර්ණ පටිගත කිරීම් හා පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ තව බොහෝ සංකේතාත්මක අවස්ථාවන් ඇතුළු තමන් සතු ඉතාමත් ජනප්‍රිය ලෝක කුසලාන ලේඛනාගාරයේ සැලකිය යුතු කොටසක් YouTube සමග බෙදා ගැනීමට FIFA පොරොන්දු වී තිබෙනවා. එමගින් මේ සමාජ මාධ්‍ය වේදිකාව සජීවී තරග විස්තර මෙන්ම ඉතිහාසයේ ගැඹුරට පිවිසීමේ ද කේන්ද්‍රයක් වනු ඇති බවට සහතික කිරීමට ගෝලීය පාපන්දු බලධාරීන් අපේක්ෂා කරනවා.
YouTube නිර්මාණකරුවන්ට පෙර නොවූ විරූ අවස්ථාවක්
ස්වාධීන ඩිජිටල් පුද්ගලයන්ට වඩාත් ගැඹුරු ඒකීකරණයක් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ලැබෙනවා. සම්මත විකාශයන් හි දක්නට නොලැබෙන පසුබිම් සිද්ධීන් ග්‍රහණය කිරීමට ඉඩ ලැබෙන පරිදි පෙර නොවූ විරූ පිවිසුම් බලයක් හා පිවිසුම්මගක් තරගාවලිය අතරතුර YouTube නිර්මාණකරුවන්ගේ ගෝලීය පිරිසකට ලබා දෙන බවට FIFA ස්ථිර කර තිබෙනවා.
තරගයක් පැවැත්වෙන මිනිත්තු 90 කාලයට එහා ගොස් 24/7ක විකාශනයක් ලබා දෙමින්, සමාජ මාධ්‍ය ඔස්සේ තරගයේ විශේෂ අවස්ථා දැනගන්නා මොබයිල් කේන්ද්‍රගත ක්‍රීඩා ලෝලීන්ගේ පුරුදු සමග අනුනාද කරන තොරතුරු ගලා ඒමක් සැපයීම මෙහි ඉලක්කය වී තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී








