leader s

“පාපිෂ්ට ලෝකය බලාගෙනයි! නුඹලා කළ අපරාධවලට දඬුවම් ලබා දෙන සුරදූතයෙක් දැන් උඹලාගේ ගේට්ටුව ළඟ ඉන්නවා.

චක් නොරිස් ට නිකම්ම පිහාටු ලැබුනේ නැහැ. ඔහු ඇවිත් ඉන්නේ උඹලාගෙන් පළිගන්නයි.”

අපරාධකරුවන්ට දඬුවම් කරන චක් නොරිස්ගේ සටන්කාමී රඟපෑම් මෙනෙහි කරමින් එසේ කියන්නේ නොරිස්ගේ පවුල වෙනුවෙන් යාච්ඤා කරන, ඔහුගේ සටන් කලා මැදිරියේ පුහුණු වූ නළු සගයෙකු වන ලොරෙන්සෝ ලමාස්.

86 වැනි වියේ පසුවෙමින් සිටියදී බ්‍රහස්පතින්දා මිය ගිය අමෙරිකානු සටන් කලා ශූරයෙක් සහ හොලිවුඩ් සටන් නළුවෙකු වන චක් නොරිස් (Chuck Norris) ට ලෝකය වටෙන් බුහුමන් ගලා එමින් තිබෙනවා.

chuck norris kick
“ඔහුට රණශූරයකුගේ බාහිර පෙනුමක් තියෙන්න පුළුවනි. නමුත් ඔහුගේ හදවත සම්පූර්ණයෙන්ම පිරී තිබුනේ ආදරයෙන්” යනුවෙන් දියණිය ඩැනිලී නොරිස් පවසනවා.

“ලෝකයාට ඔහු සටන් කලාකරුවෙක්, නළුවෙක් හා ශක්තියේ සංකේතයක්. අපට ඔහු කැපවූ සැමියෙක්, ආදරණීය පියෙක් හා සීයා කෙනෙක්, පුදුම සහෝදරයෙක්. ඔහු අපේ පවුලේ තිබූ හදවතයි” යනුවෙන් චක් නොරිස්ගේ පවුල නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

මේ ජනප්‍රිය නළුවාට අති සාර්ථක චිත්‍රපට දිවියක් තිබුනත් ඔහු ඒ සියල්ල මීට වසර කිහිපයකට පෙර අත්හැරියේ රෝගාතුරව සිටින බිරිඳ ළඟින් සිටීම වඩා වැදගත් බවට සැලකූ නිසා.

රූමැටොයිඩ් ආතරයිටිස් රෝගය සඳහා MRI ස්කෑන් පරීක්ෂණයකට බඳුන් වීමට පෙර ජෙනා ට ලැබුණු එන්නතෙන් නොරිස්‌ගේ පවුල් ජීවිතය 2013 වසරේ එක රැයකින් උඩුයටිකුරු වුණා. එය වැදගැම්මකට නැති එන්නතක් බව ඔවුන් විශ්වාස කළත් පසුව දිස්වූ ජෙනාගේ ප්‍රතික්‍රියාවන් හා සංකූලතාවන්වලින් ඇඟවුනේ එය සිතුවාට වඩා බරපතල බවයි.

එම එන්නතෙන් පැය කිහිපයකට පසුව බිරිඳ ජෙනා ට ඇගේ ශරීරය පුරා ඇසිඩ් ගමන් කරමින් මුළු ශරීරයම පිච්චෙන බවක් දැනුණා. පළමුව එය ඇයට දැනුනේ ශරීරයේ එක්තරා තැන්වල පමණක් වූවත් වේදනාව නොනැවතී ශරීරය පුරා පැතිර ගියා. ඉන්පසුව මාස පහක කාලයක් ලෙඩ ඇඳට වැටුනු ඇයට දිවා රාත්‍රී සත්කාරය අවශ්‍ය වුණා. කිසිම මොහොතක ඇය ළඟින් පිටව නොගිය චක් නොරිස් බිරිඳ අසල නිදා ගනිද්දී ඇය ඇගේ දරුවන් වෙනුවෙන් ජීවිතය ඉල්ලා දෙවියන්ට යාච්ඤා කළා.

chuck norris gena okelley
ජෙනා වෙනුවෙන් කැපවීම පිණිස සිය චිත්‍රපට දිවිය අත්හළ මේ ආදරණීය සැමියා එතැන් පටන් ඔහුගේ මුළු ජීවිතයම වෙන් කළේ බිරිඳ ජීවත් කරවීමටයි. ඇගේ බිරිඳගේ ප්‍රතිකාර සඳහා ඔහු ඩොලර් මිලියන දෙකකට වැඩි මුදලක් වියදම් කළා.

1940 වසරේ ඔක්ලහෝමා නගරයේදී කාලොස් රේ නොරිස් නමින් උපන් ඔහු අමෙරිකානු ගුවන් හමුදාවට බැඳුනේ නව යොවුන් වියේ සිටියදී. දකුණු කොරියාවේ රැඳී සිටි කාලයේ ඔහු සටන් කලාව පුහුණු වීම ආරම්භ කළා.

කරාටේ, ටේක්වොන්ඩෝ, ටැං සූ ඩෝ, බ්‍රසීලියානු ජි ජිට්සු හා ජූඩෝ ක්‍රීඩාවල කළු පටි හිමිකර ගත් ඔහු ඔහුගේ ම සටන් කලා ආයතනයක් chun kuk do නමින් පිහිටුවූවා.

1960 ගණන්වලදී කරාටේ ලෝක ශූරතාවලියන් ජයග්‍රහණය කළ චක් නොරිස් ඔහුගේ අව්‍යාජ සටන් නිපුණතාවන් ඔහුගේ චිත්‍රපට කාර්යයන්ට එකතු කර ගත්තේ ඒවායේ කිසිම වෙනසක් නොකරමින්.

51VQEGUguFL. AC UF8941000 QL80
දැවැන්ත තිරයේ ඔහුගේ ලොකුම අවස්ථාව පැමිණියේ සටන් කලාවේ අතිජනප්‍රිය චිත්‍රපට තරුව වන බෲස් ලී මුණගැසීමෙන් පසුව. 1972 වසරේ The Way of the Dragon චිත්‍රපටයේ අවසාන දුෂ්ටයාගේ චරිතය රඟපෑමට ලී, ලෝක කරාටේ ශූරයාව සිටි නොරිස් ට ඇරයුම් කළා.

“ඒ කාලේ කරාටේ ලෝක කිරුළ හිමි කරගෙන සිටියේ මමයි. ‘සටනින් දිනන්නේ කවුද බෲස්?’ කියලා මම විහිළුවට ඇහුවා. එවිට ඔහු කීවා, ‘මමයි දිනන්නේ, චිත්‍රපටයේ තරුව මමයි’ කියලා. මම ඇහුවා, ‘ඇත්තට.. ඔයාට ඔ්නේ ලෝක ශූරයාව පරද්දන්න ද?’ කියලා. එතකොට බෲස් කිවුවා ‘නැහැ, මට අවශ්‍ය ලෝක ශූරයාව මරන්නයි’ කියලා” යනුවෙන් චක් නොරිස් ඒ කාලයේ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබුණා.

රඟපෑම මීට වඩා වැදගත් විදියට බාරගන්නා ලෙසට නොරිස්ගේ මිතුරු ස්ටීව් මැක්කුවීන් නළුවා පැවසීමෙන් පසුව නොරිස් Breaker! Breaker! නමැති 1977 වසරේ සටන් චිත්‍රපටයේ සහ Good Guys Wear Black නමැති 1978 චිත්‍රපටයේ පෙනී සිටියා.

චක් නොරිස් ලෝ පතල අයෙක් බවට පත්වුනේ A Force of One, The Octagon සහ An Eye For An Eye යන සටන් කලා චිත්‍රපටවල රඟපෑමෙන් පසුව.

Walker, Texas Ranger නමැති 1993-2001 ජනප්‍රිය රූපවාහිනී අපරාධ චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රඟපෑමට පෙර ඔහු Missing In Action, Delta Force හා Code of Silence ඇතුළු අනෙකුත් 1980 යුගයේ චිත්‍රපටවල පෙනී සිටියා.

the delta force 1770013492
2004 වසරේ Dodgeball නමැති හාස්‍යජනක චිත්‍රපටයේ කැපීපෙනෙන සුළු චරිතයක් රඟපෑ නොරිස්ගේ අවසාන දැවැන්ත තිරයේ චිත්‍රපටය වූයේ 2012 වසරේ The Expendables 2 සහ ළඟදී නිකුත් වන ඔස්ට්‍රේලියානු සටන් සහ හාස්‍යමය චිත්‍රපටයක් වන Zombie Plane.

තිරයෙන් එහා, නොරිස් ශාරීරික යෝග්‍යතාව ප්‍රවර්ධනය කරමින් සටන් කලා පාසල් ස්ථාපනය කළ අතර අමෙරිකානු කොන්සවටිව් දේශපාලනයේ කෙළින් කතා කරන ආධාරකරුවෙකුව සිටියා. ඔහු යටත් නොවන පුද්ගලයෙක් බවත් තමාගේ ඉහළම ගෞරවය නොරිස් ට හිමිවන බවත් රිපබ්ලිකන් පාක්ෂිකයෙකු වන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

චක් නොරිස් දෙස තමා සැමවිටම බැලුවේ ආදර්ශමත් චරිතයක් ලෙසින් බව ඔහු සමග රඟපෑ ස්වීඩන නළු ඩොල්ෆ් ලන්ඩ්ග්‍රෙන් පවසන අතර නොරිස් හැම අතකින්ම පරිපූර්ණ අමෙරිකානුවෙක් වූ බව ජනප්‍රිය නළු සිල්වෙස්ට ස්ටැලෝන් කියා සිටනවා. චක් නොරිස් ට ගෞරවය පුදමින් ඔහු ශ්‍රේෂ්ට මිනිසෙක් ලෙසින් විස්තර කළ ස්ටැලෝන්, “චක් එක්ක වැඩ කරද්දී මම ලොකු වින්දනයක් ලැබුවා” යනුවෙන් සඳහන් කරනවා.

රෝගාතුරව සිටි බිරිඳ ළඟින් සිටීම සඳහා සිය අද්විතීය චිත්‍රපට දිවිය අත්හැර දැමූ මේ ජනප්‍රිය සටන් නළුවා මෙලොවින් නික්ම යන්නේ නිවුන්නු දෙදෙනෙක් ඇතුළු ඔහුගේ දරුවන් පස් දෙනා සහ බිරිඳ ජෙනාව (Gena O’Kelly) තනි කරමින්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 

 

 

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්