ඩුබායි දේශයේ පාලකයා සමග සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ පෝස්ට් කිරීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ
ක්‍රීඩා කරන ඉරානයේ ප්‍රධාන පාපන්දු ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමෙන් නෙරපා දමා තිබෙනවා.
ඉරාන රජයට ද්‍රෝහිවීමක් ලෙස සැලකෙන ක්‍රියාවක් නිසා සාර්දාර් අස්මෝන් (Sardar Azmoun) නමැති ඉරානයේ ඉහළම පෙලේ පාපන්දු ක්‍රීඩකයාව ජාතික කණ්ඩායමෙන් ඉවත් කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ළඟ එන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී (ඉරානයේ සහභාගිත්වය තවමත් අස්ථිරයි) මේ ඉදිරි පෙල ක්‍රීඩකයාව දක්නට නොලැබීමට ඉඩ තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ෂබාබ් අල්-අහ්ලි පාපන්දු සමාජයට ක්‍රීඩා කරන අස්මෝන් ඉරාන බලධාරීන්ගේ සිත් සසල කර තිබෙන්නේ ඔහු ඩුබායි පාලකයා වන මොහමඩ් බින් රෂිඩ් අල් මක්තූම් හමුවූ අවස්ථාවේ ගත් ඡායාරූපයක් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පෝස්ට් කිරීමෙන්.

අමෙරිකාව හා ඊශ්‍රායලය විසින් ඉරානය ට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඉරානය රොකට් හා ඩ්‍රෝන ප්‍රහාර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල කළා.
අස්මෝන් පසුව එම ඡායාරූප ඉවත් කරගෙන තිබුනත් ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔහුව තදින් විවේචනය කර තිබෙන අතර අස්මෝන් සිදුකර ඇත්තේ ද්‍රෝහිකමේ ක්‍රියාවක් බවට පාපන්දු විශාරද මොහමඩ් මිසාඝි චෝදනා කරනවා.
“වෙලාවට ඔබින විදියට හැසිරෙන්න තේරුම් ගැනීමට තරම් අවබෝධයක් නොතිබීම අවාසනාවට කරුණක්” යැයි මිසාඝි කියා තිබෙනවා. “ඒ වගේ මිනිස්සු ගැන අපි වචන නාස්ති කරගන්න ඕන නැහැ. ජාතික කණ්ඩායමේ කමිසය පැළඳීමට තරම් ඔවුන් වටින්නේ නැති බව ඔවුන්ට කිව යුතුයි.”
“මේ දුර්මුඛ හා ළාමක හැසිරීම් වෙනුවෙන් ඉවසීමක් අපට නැහැ. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් ආඩම්බරයෙන් ජාතික ගීය ගායනා කරන සහ ඉරාන කමිසය පැළඳීමට සුදුසු පුද්ගලයින් විය යුතුයි.”
31 හැවිරිදි සාර්දාර් අස්මෝන් ඉරානයේ සිටින ඉතාමත් ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයන්ගෙන් කෙනෙක්. ඔහු ඔහුගේ මුළු ක්‍රීඩා සමාජ දිවියම විදේශයන්හි ගතකර තිබෙන්නේ රුසියාවේ Zenit Saint Petersburg, ජර්මනියේ Bayer Leverkusen හා ඉතාලියේ Roma යන පාපන්දු කණ්ඩායම් සමග. අස්මෝන් 2018 සහ 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියන් හිදී ඉරානය නියෝජනය කළා. මේ ආක්‍රමණශීලී ක්‍රීඩකයා නව යොවුන් වියේ සිටියදී 2014 වසරේ ප්‍රථම වතාවට ඉරානය වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු තරගයකට සහභාගි වීමෙන් පසුව මේ දක්වා ජාත්‍යන්තර තරග 91කට ක්‍රීඩා කරමින් ගෝල් 57ක් වාර්තා කර තිබෙනවා.
අස්මෝන්ගේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා කරන තවත් ඉරාන ජාතික පාපන්දු කණ්ඩායමේ ඉදිරි පෙල ක්‍රීඩකයෙකු වන Mehdi Ghayedi සහ හිටපු ජාත්‍යන්තර ක්‍රීඩක Soroush Rafiei ගේ ද වත්කම් රජයේ භාරයට ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු








