leader s

ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම අභ්‍යන්තරයේ තිබෙන වර්ගවාදයක් පිළිබඳව හිටපු ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩක ලක්ස්මන් සිවරාමක්‍රිෂ්නන්

හෙළිදරව් කර තිබෙනවා.

මේ පා දඟ පන්දු යවන්නාගේ ඛේදවාචකය ඉන්දියානු ක්‍රිකට් ක්ෂේත්‍රයේ අවවාදාත්මක කතන්දර යටතේ බොහෝ විට ගොනුගත කරමින් තිබෙන්නේ වයස අවුරුදු 19දී ක්‍රිකට් ලෝකය ජයගෙන අවුරුදු 22 වන විට හිටි අඩියේ අතුරුදන් වූ නව යොවුන් වියේ ආශ්චර්යයක් ලෙසයි. ලෝකයට කියා තිබුනේ ඔහුට ඔහුගේ පන්දු යැවීමේ රිද්මය නැතිවී අවසානයේදී ඔහුගේ විනය ද නැතිවූ බවයි. ලෝකයට අසන්නට ලැබුනේ ඔහු සුරාසොඬෙක් බවයි.

නමුත් LS ලෙසින් ඔවුන් හැඳින්වූ මේ කොලුවාගේ සැබෑ කතාව 1985 ක්‍රිකට් ලෝක ශූරතාවලියේ ලකුණු සටහන්වල සොයාගන්න බැහැ. ඒ කතාව තිබෙන්නේ කළු හමක් ඇති කොල්ලෙක් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවට විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කළ ගේට්ටුපල්ලා විසින් ආපසු හරවා යවනු ඇතැයි බියෙන් මුම්බායි හෝටලයක් පිටත වෙවුලමින් සිටි 16 හැවිරිදි යෞවනයෙකු‌ තුළයි. මෙය ‘දි ඉන්ඩියන් එක්ස්ප්‍රස්’ සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු යළි මතකයට ගෙන ආ කම්පා කරවන සිද්ධීන්ගෙන් එකක් පමණයි.

සිවරාමක්‍රිෂ්නන්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය ක්ෂණික සාර්ථකත්වයක් ලැබ ඉක්මනින් නොපෙනී ගිය, ක්‍රිකට් ලෝකයේ තිබෙන එක් වඩාත්ම හොල්මන් කරන කතාවක්. 1983 වසරේ වයස අවුරුදු 17යි දවස් 118ක්ව තිබියදී ප්‍රථම වතාවට ටෙස්ට් ක්‍රිකට් තරග බිමට පිවිසි LS ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ උච්චස්ථානයට පිවිසියේ ඉන්දියාවේ පැවති එංගලන්තය ට එරෙහි තරගමාලාවේ බොම්බායේ පැවති තරගයේදී කඩුලු 12ක් ලබා ගනිමින්. ඔහුගේ ගෝලීය පැමිණීම ශක්තිමත් වුනේ ඔස්ට්‍රේලියාවේ පැවති 1985 ක්‍රිකට් ලෝක ශූරතාවලයේ. එහිදී ඔහු කඩුලු 10ක් ලබා ගෙන වැඩිම කඩලුලාභියා බවට පත්වුනේ ඉන්දියාව කිරුළ කරා ගෙන යමින්. කෙසේ වෙතත්, ඔහුගේ වැටීම ද නැගටීම තරමටම වේගවත් වුණා. වයස අවුරුදු 21 වන විට ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය අවසානයට පැමිණ තිබුණා. ඔහු ක්‍රිකට් ගමන නිමා කළේ ටෙස්ට් කඩුලු 26ක් පමණක් වාර්තා කරමින්. එහෙත් ඔහු කඩුලු 500ක් ලබා ගනු ඇති බවට සුනිල් ගවස්කාර් ඇතුළු බොහෝ දෙනෙක් අනාවැකි පළ කර තිබුණා.

LSගේ මානසික ඇදවැටීම පටන් ගත්තේ ඔහුගේ පා දඟ පන්දුව ගුවනේදී ඔහුව අතරමං කිරීමට බොහෝ කලකට පෙර. යන්තම් 14 වැනි වියේ පසුවෙමින් තවමත් පාසල් නිල ඇඳුමින් සිටියදී ඔහු ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා චෙපෝක් ක්‍රීඩාංගණයේ ‘නෙට්’ පන්දු යවන්නෙකු ලෙස කටයුතු කරමින් සිටියා. ක්‍රීඩකයින් ඇඳුම් මාරු කරන කාමරවලදී ඔහුව ක්‍රීඩාංගණ සේවකයෙකු ලෙස වරදවා වටහා ගත්  ඉන්දියානු ජ්‍යෙෂ්ඨ පිතිකරුවෙක් ඔහුගේ සපත්තු පිරිසිදු කරන්නැයි මේ ළමයාට කියා තිබුණා.

“මම ඔහු දිහා බලා, ‘ඒක මගේ වැඩක් නෙවෙයි’ කියලා කිවුවා” යනුවෙන් සිවරාමක්‍රිෂ්නන් ‘දි ඉන්ඩියන් එක්ස්ප්‍රස්’ පුවත්පතට ප්‍රකාශ කළා.

වර්ගවාදය ට නමක් එම අවස්ථාවේදී ඔහු ළඟ තිබී නැහැ. ඔහුට තිබුනේ වීරයෙක් ළමයෙකුට ඒ වගේ සැලකුවේ ඇයි ද යන ව්‍යාකූලතාව පමණයි.

කළු කොල්ලෙක්ට කළු චොකලට් කේක්ගෙඩියක්
JrYDobECRGZZ0 cG
පාකිස්තාන සංචාරයක යෙදුනු ඉන්දියා සංචිතයේ සිටින බබා බවට ඔහු පත්වන විට LSගේ වයස 17යි. ඒ වැදගත් අවස්ථාව සැමරීම පිණිස ඔහුගේ නායකයා සහ ආරක්ෂකයා වූ සුනිල් ගවස්කාර් කේක් එකක් ඇනවුම් කළා. එය විනෝදාත්මක මතකයක් බවට පත්විය යුතුව තිබුනත් ඒ වෙනුවට එය ඔහුගේ හිතේ රැඳුනු අමිහිරි කැලලක් බවට පත්වුණා.

කණ්ඩායම් සගයෙක් මෙසේ විහිළු කළා: “ඒයි සනී (සුනිල්), ඔයා ඇනවුම් කළේ නියම පාට කේක් එකක්. කළු කොල්ලෙක්ට ඒ තරමටම කළු චොකලට් කේක්ගෙඩියක්.”

සිවරාමක්‍රිෂ්නන් එදා ඒ කේක් එක කැපුවේ දෑසට කඳුළු පුරවාගන. එක විහිළුවක් අවසන තවත් විහිළුවකින් මේ ක්‍රීඩකයාව ඇතුළතින් කඩා දැමුවා.

අසූව දශකයේ මැද භාගය සිවා මේනියාවේ යුගය විය යුතුව තිබුණා. හොඳම පිතිකරුවන් පවා මෝහනය කරන මැණික් කටුවක් තිබෙන සුපිරි දඟ පන්දු යවන්නෙක් බවට ඔහු පත්ව සිටියා. එසේ වූවත්, තමාගේ පන්දුවේ පාවීම හා ‘ගුග්ලිය’ කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබියදී ඔහුට සිදුවුනේ මුම්බායි, ජලන්ධාර් හා පාකිස්තානයේ ක්‍රීඩා මණ්ඩපවලින් නැගුනු “කලියා” නමැති සමූහ කෑගැසීමේ හඬ සමග සටන් කිරීමටයි. තරග නිලධාරීන් පවා ඊට එරෙහිව ක්‍රියා කළේ නැහැ.

ගවස්කාර්ගේ මැදිහත් වීම අවශ්‍ය වෙමින් තරග විනිසුරු ශකූර් රනා තමාගේ හිත රිදවමින් කටයුතු කළ ආකාරය ඔහු මෙනෙහි කළා.

“මගේ කළු හම නිසා මිනිසුන් මාව නොසලකා හැරියා. මෙය සිදුවූ සෑම අවස්ථාවකම මට මහත් වේදනාවක් දැනුනා. මට සැමවිටම අවශ්‍ය වුනේ අමතක කරන්න, අමතක කරන්න, අමතක කරන්නයි. නමුත් මගේ හිතේ ගැඹුරෙන් එය අයෙත් මතුවී උඩට ආවා. මේ සියලු දේ නිසා, විශ්වාසය ගොඩනගා ගන්න ඉතා අපහසු නොමේරූ වයසේදී මාව ඉතා පහත් ආත්මාභිමානයකට ඇද දැමුවා.”

ඔහුගේ ක්‍රීඩා දිවියේ සංඛ්‍යානමය කරුණුවල අඩු පුරුක වී තිබෙන්නේ මේ ක්‍රමික දුර්වල වීමයි. පා දඟ පන්දු යවන්නෙකුට ආත්ම විශ්වාසය යනු ඔහු හුස්ම ගන්නා වාතයයි. එය නැතිවූ විට ඔහුගේ පන්දුවේ දඟයත් නැතිවෙනවා.

බේබද්දෙක්

ඔහුගේ ක්‍රීඩා තත්ත්වය ගිලීයමින් ඔහුගේ ජාත්‍යන්තර පෙනී සිටිම බොඳව යද්දී, ක්‍රිකට් ජෛවී ප්‍රජාව පහසු ලේබලයක් සොයා ගත්තා: “බේබද්දා!” එය ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙකුගේ අතුරුදන්වීම පහදා දීමේ පහසු ක්‍රමය වී තිබුණා.

LSගේ මානසික ඇදවැටීම දශකයක කාලයක් තිස්සේ ඔහුගේ කණ්ඩායමේ සගයින්, තරග නරඹන සෙනඟ හා සමාජය විසින් ඔහුව මුළුමනින්ම පිළිනොගන්නා බවට කියා සිටීමට දැක්වූ ප්‍රතිචාරයක්. ඒ කම්පනය ඔහු දශක ගණනාවක් රැගන ගියා.

සිවරාමක්‍රිෂ්නන්ගේ දෙවැනි ඉනිමේදී පවා ඒ සෙවණැලි ඔහු පසුපස පැමිණියා. තරග විස්තර විකාශය කරන මයික්‍රපෝනය පිටුපස ගෞරවයෙන් සලකනු ලැබූ හඬක් ලෙස දශක දෙකකට වැඩි කාලයක් කටයුතු කිරීමෙන් පසුව ඔහු තරග විස්තර ගෙන ඒමෙන් සමුගන්නා බව මෑතකදී නිවේදනය කළේ තරග විස්තර ප්‍රචාරය කිරීමේ ප්‍රජාව තුළ තිබෙන ජාතිවාදී පක්ෂපාතිත්වය පිළිබඳව චෝදනා කරමින්. වසර 23ක සේවා කාලයක් තිබියදීත් ඔහුව  කාසිය උඩ දැමීම හෝ තරගයෙන් පසු ත්‍යාග ප්‍රදානය වැනි වැදගත් අවස්ථාවන් හිදී දිගටම නොසලකා හැරියේ ඔහුගේ සමේ වර්ණය නිසා බව ඔහු කියා සිටියේ ඔහුගේ ක්‍රිකට් දිවිය සම්පූර්ණ වටයක් ගොස් එදා මුම්බායි හෝටලය පිටතදී නව යොවුන් වියේ දැනුනු ඒ වෙව්ලුම කරා නැවත ගෙන එමින්.

සිවරාමක්‍රිෂ්නන් ට පිළිගැනීමක් දැනුනු එකම තැන කැරිබියන් දූපත් වීම පුදුමයට කරුණක්‌ නෙවෙයි. ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම එහි සංචාරය කළ විට ඔහු වැඩි වේලාවක් ගතකළේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් ඇසුරේයි. මැල්කම් මාෂල්, ඩෙස්මන්ඩ් හේන්ස් හා ගෝඩ්න් ග්‍රිනිජ් වැනි බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස්ලා අතරෙහි LSගේ හමේ පාට තවදුරටත් හාස්‍යයට කරුණක් වුනේ නැහැ.

“ඒ වෙද්දී එයාගෙ වයස 17යි. එයා එයාගෙම ක්‍රීඩකයින්ගේ ඩ්‍රෙසිං රූම් එකට වඩා අපේ ඩ්‍රෙසිං රූම් එකේ සතුටින් හිටියා” යනුවෙන් එතරම් කතා නොකරන ග්‍රිනිජ් වරක් පවසා තිබුණා.

ලක්ස්මන් සිවරාමක්‍රිෂ්නන්ගේ කතාන්දරය නිතරම මතකයේ රඳවා ගෙන තිබෙන්නේ තාක්ෂණික රිද්මය නැතිවීමක් ලෙසින්. නමුත් තරුණ මිනිසෙකුගේ ආත්ම විශ්වාසය නිහඬව හා ස්ථිරව ක්‍රමක්‍රමයෙන් දුර්වල කිරීමයි ඔහුගේ ක්‍රිකට් දිවිය වඩාත් හොඳින් නිර්වචනය කරන සෙවණැල්ල ලෙස රැඳී පවතින්නේ.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්