“ඉම්රාන් ඛාන් නිදහස් කරනු!” (Free Imran Khan) යනුවෙන් සඳහන්ව තිබූ කමිසයක් පැළඳ ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් තරගයක්
නැරඹීමට පැමිණි පුද්ගලයෙකුට ක්‍රීඩාංගණයට ඇතුළු වීමට අවසර දී නැහැ. පසුව, එම ක්‍රීඩකයා පිටමං කිරීමට හේතුවූ තමන්ගේ ආකල්පය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් විසින් වෙනස් කරගෙන තිබෙනවා.
පාකිස්තානයේ බන්ධනාගාරගත කර සිටින හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටින වදන් ප්‍රදර්ශනය වූ කමිසයක් පැළඳ ජංෂන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ෂෙෆීල්ඩ් පළිහ ක්‍රිකට් තරගයක් නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලියෙක් ක්‍රීඩාංගණයට ඇතුළු වීම වැළැක්වීමට තරගයේ සංවිධායකයින් මුලින් කටයුතු කර තිබෙනවා.
එම පුද්ගලයා පැළඳ සිටි කමිසය නිසා ඔහුට ක්‍රීඩාංගණයට ඇතුළු වීමට ඊයේ ඉඩ නොදුන් බව පිළිගත් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය, ඛාන් මුහුණ පා සිටින තත්ත්වයේ ස්වභාවය සැලකිල්ලට ගෙන තමන් දැරූ ඒ මතය වෙනස් කරන බව පසුව ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව නරඹන්නන්ට දැන් ඉම්රාන් ඛාන් වෙනුවෙන් ඔවුන්ගේ සහයෝගිතාව එම තරගයේ ඉතිරි දිනවල ප්‍රදර්ශනය කිරීමට අවසර ලැබෙනවා.
“ඉම්රාන් ඛාන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් විශාල ලෙස පැතිරුණු සැලකිලිමත් වීමට අනුව මෙය මානව හිතවාදී ප්‍රශ්නයක් බවට විශ්වාස කරමින් ඊට අනුකූලව ක්‍රියා කිරීමට අපි තීරණය කළා” යනුවෙන් ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.
පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිමත් නායකයෙකු මෙන්ම එරට හිටපු අගමැතිවරයෙකු ද වන ඉම්රාන් ඛාන් 2023 වසරේ සිට සිරගතව සිටිනවා. ඔහු අත්අඩංගුවට ගත්තේ දූෂණ චෝදනා මත.
73 හැවිරිදි ඛාන්‌ගේ ඇසක පෙනීම දුර්වල වීම හේතුවෙන් ඔහුව පසුගිය මාසයේ හදිසියේම රෝහලට ගෙන ගිය අතර ඉන්පසු ඔහු නැවතත් රාවල්පින්ඩි නුවර අඩිආලා බන්ධනාගාරය වෙත රැගෙන ආවා.
ඛාන්ව එසේ රෝහලට ගෙන යනු ලැබුවේ බන්ධනාගාරයේ සිටියදී ඔහුගේ ශරීර සෞඛ්‍යය හා ආරක්ෂාව පිළිබඳව සැලකිල්ල මතු කරමින් හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින් දුසිමකට වැඩි දෙනෙක් ලිපියකට අත්සන් කිරීමෙන් පසුව.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







