හකාන් සුකුර් (Hakan Sukur) නමැති තුර්කියේ එදා මෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයාව එරට ඉතිහාසයෙන් මකා දමා තිබෙනවා. මීට හේතු වී තිබෙන්නේ ඔහු සහ තුර්කියේ ජනාධිපති රිසෙප් ටය එල්ඩෝවන් (Recep Tayyip Erdogan) අතර තිබෙන උග්‍ර භේද වීමයි.
ඉතාලියේ ඉන්ට මිලාන් සහ එංගලන්තයේ බ්ලැක්බර්න් යන වෘත්තීය පාපන්දු සමාජ නියෝජනය ඇතුළු විසිඑක් වසරක දීප්තිමත් ක්‍රීඩා දිවියකින් පසුව 54 හැවිරිදි සුකුර් තුර්කි ජාතික පාපන්දු කණ්ඩායමේ සහ එරට ගැලටසරායි වෘත්තීය පාපන්දු කණ්ඩායමේ වාර්තාගත ගෝල්ලාභියා ලෙස තවමත් රැඳී සිටිනවා.
මේ සුප්‍රසිද්ධ ආක්‍රමණශීලී ක්‍රීඩකයා පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව 2011 වසරේදී තුර්කියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වුණා. එහෙත් මතභේදාත්මක ආගමික දේශකයෙකු වන ෆෙතුල්ලා ගුලන් (Fethullah Gulen) සමග ඔහුගේ තිබූ සබඳතාව නිසා රජය ඔහු සමග භේද වුණා.
හකාන් සුකුර්
සුකුර් 2013 වසරේදී AKP පාලක පක්ෂයෙන් ඉල්ලා අස්වූ අතර එදා පටන් ඔහුව සලකනු ලබන්නේ රටේ සතුරෙක් ලෙසයි. දේශපාලන උණුසුම උත්සන්න වෙද්දී මේ හිටපු තුර්කි පාපන්දු නායකයා 2015 වසරේදී අමෙරිකාව ට පලා ගියා.
තමාගේ බිරිඳ සහ දරුවන් තිදෙනා කැලිෆෝනියාවේ පදිංචි කිරීමට ඔහුට හැකිවූ අතර ඔවුන් දැන් එහි වාසය කරන්නේ රටින් පිටුවහල් කෙරුනු පුද්ගලයින් ලෙසයි.
එල්ඩෝවන් ට එරෙහිව 2016 වසරේදී සිදුකෙරුනු අසාර්ථක කුමන්ත්‍රණයකින් පසුව එල්ඩෝවන් හා සුකුර් අතර තිබූ භේදය පුපුරා ගියේ එම කුමන්ත්‍රණය සැලසුම් කළ පුද්ගලයින් සමග සුකුර්ගේ සම්බන්ධකම් තිබෙන බවට චෝදනා නැගෙමින්.
සුකුර් මේ කිසිම සම්බන්ධයක් දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ ද ඔහුගේ තුර්කි වත්කම් හා බැංකු ගිණුම් සියල්ල තහනමට ලක්ව තිබෙනවා. එතැන් සිට මේ සංකේතාත්මක ක්‍රීඩකයාගේ නම ඔහුගේ මව්බිමේ ජීවිතයේ සියලු අංශවලින් ක්‍රමානුකූලව මකා දමා තිබෙනවා.
කෞතුකාගාර ඔහුව නොසලකා හැර තිබෙන අතර ඔහුගේ ක්‍රීඩා වාර්තා පිළිබඳව සඳහන් කිරීම තහනම් කර තිබෙනවා. සුකුර් ට ගෞරව පිණිස නම් කර තිබූ ක්‍රීඩාංගණයක් ඔහුගේ නම ඉවත් කර වෙනත් නමක් යොදා තිබෙනවා. ඔහුගේ නම ගුවනේ පවා සඳහන් කිරීම තරග විස්තර ගෙන එන්නන්ට තහනම්.

ලෝක කුසලාන තරගාවලියේ එදා මෙදා තුර වේගවත්ම ගෝලයේ වාර්තාව උසුලන්නේ සුකුර් බවට 2022 තරගාවලිය අතරතුර සඳහන් කළ එක් විස්තර ප්‍රචාරකයෙකුව තරගයේ විවේක කාලයේදී නෙරපා දැමුවා.
2002 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ලෝකඩ පදක්කම තුර්කිය ට හිමිකර දීම සඳහා උපකාරී වෙමින් තරගය ආරම්භ වී තත්පර 11ක් පමණක් ගතවීමෙන් පසුව සුකුර් දකුණු කොරියාව ට එරෙහිව ලබා ගත් ගෝලය තවමත් ජනප්‍රියව පවතිනවා.
එහෙත් ඔහුගේ උරුමය ගුවනින් ගෙන ඒම බ්‍රහස්පතින්දා ඉස්ටාන්බුල් නුවරදී රුමේනියාව ට එරෙහිව පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තීරණාත්මක තරගයේදීත් සිදුවුනේ නැහැ. එහිදී 2002 වසරේ වීරයින්ට උපහාර දක්වමින් ක්‍රීඩා ලෝලීන් විසින් දිග හරිනු ලැබූ දැවැන්ත බැනරයක සුකුර් ගැන කිසිම සඳහනක් තිබුනේ නැහැ.
හකාන් සුකුර් තවමත් අමෙරිකාවේ ජීවත් වෙමින් සිටින්නේ අවන්හලක සම අයිතිකරුවෙකු වෙමින් වූව ද, තමාව බයකිරීම පිණිස එවා ඇතැයි ඔහු සැක කරන පුද්ගලයින් කිහිප දෙනෙක් නිතර එම අවන්හලේ පෙනී සිටින බව පවසමින් ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

අරෙිකාවේ ගත කරන ජීවිතයේ එක් කාලයකදී තමාගේ බිල් ගෙවා දැමීම පිණිස Uber රියදුරෙක් ලෙස රැකියාව කිරීමටත් Amazon මාර්ගගත වේදිකාවේ පොත් විකිණීමටත් මේ හිටපු පාපන්දු නායකයාට සිදුවුණා.
නමුත් ඔහු සහ ඔහුගේ පවුලට ග්‍රීන් කාඩ් ලැබීමෙන් පසුව ජීවිතය යහපත් වී තිබෙනවා. සුකුර් දැන් අලුත් ජීවිතයක් ආරම්භ කර තිබෙන්නේ ඔහුගේ ම පාපන්දු ඇකඩමියක් කැලිෆෝනියාවේ සාර්ථකව පවත්වා ගෙන යමින්.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







