ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා සිටින ඝානාව හා සුදුසුකම් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින
යුක්රේනයේ ක්‍රීඩකයින් නැවතී සිටි හෝටලවලින් ඔවුන්ගේ වටිනා භාණ්ඩ සොරකම් කර තිබෙනවා.
ඝානා ක්‍රීඩකයින්ගේ මුදල් හා මිල අධික අත්ඔරලෝසු සොරා ගෙන තිබෙන්නේ ඔවුන්ගේ ඔස්ට්‍රියාව ට එරෙහි ජාත්‍යන්තර මිත්‍ර තරගය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර. සොරකම් කර තිබෙන භාණ්ඩවල සම්පූර්ණ වටිනාකම පවුම් 15,000ක් පමණ වන බවට විශ්වාස කෙරෙනවා.
සොරකම් කරන ලද භාණ්ඩ අතර ඝානා පාපන්දු සංචිත ක්‍රීඩකයින්ට අයත් අත්ඔරලෝසු, පසුම්බි හා ජංගම දුරකථන ඇතුළු පෞද්ගලික වටිනාකමක් ඇති දේවල් තිබූ බව ඝානා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
වියනා නුවර පුහුණු කඳවුරක යෙදී සිටි කණ්ඩායම නැවතී සිටි හෝටලයේ මේ සොරකම සිදුව තිබෙන්නේ ආරක්ෂක සැලසුම් පිළිබඳ ප්‍රශ්න මතු කරමින්. හොරකම සම්බන්ධයෙන් ඝානා පාපන්දු සම්මේලනය වහාම දේශීය බලධාරීන්ට දන්වා තිබෙන අතර සිදුවූයේ කුමක්දැයි පැහැදිලිව දැන ගැනීම පිණිස ඔස්ට්‍රියානු පොලිසිය දැන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
එහෙත් කාමරවලට කඩාපැනීමක් සිදුවූ බවක් ප්‍රතික්ෂේප කරන හෝටලය කිසිම කාමරයකට බලෙන් ඇතුළු වීමේ ලකුණු දක්නට නැතැයි කියා තිබෙනවා. සිද්ධිය වන අවස්ථාවේදී හෝටලයේ CCTV පද්ධතිය ක්‍රියාවිරහිතව තිබූ බව ද කළමනාකාරිත්වය පිළිගෙන තිබෙන්නේ සිදුවූවා යැයි කියනු ලබන මේ සොරකම වටා තිබෙන අවිනිශ්චිතභාවයට තවත් කරුණක් එක් කරමින්.
මේ අනාවරණයෙන් හෝටලය පිළිබඳව කෙරෙන පරීක්ෂාව වැඩිකර තිබෙන අතර මෙවැනි සිද්ධියක් සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව තවත් ප්‍රශ්න මතුවී තිබෙනවා.
සොරකමේ කරුණු තහවුරු කරගෙන කණ්ඩායම ඔස්ට්‍රියාවේ සිටින කාලයේදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ දැඩි පීඩනයට ඝානා පාපන්දු බලධාරීන් හා ආරක්ෂක නිලධාරීන් දැන් මුහුණ පා සිටිනවා.
මේ අතර, ස්වීඩනය සමග ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තීරණාත්මක තරගයට සූදානම් වීම පිණිස ස්පාඤ්ඤයේ බෙනිඩෝම් නගරයේ පුහුණු කඳවුරකට සහභාගි වෙමින් සිටි යුක්රේන කණ්ඩායම ලැගුම් ගෙන සිටි හෝටලයට ද හොරු පැන තිබෙනවා.
එහිදී ඔවුන්ගේ යුරෝ දසදහස් ගණන් වටිනා අත්ඔරලෝසු හා සුඛෝපභෝගී භාණ්ඩ සහ මුදල් ද සොරකම් කර ඇති බව දැනගැනීමෙන් යුක්රේන පාපන්දු ක්‍රීඩකයින් අන්දන් කුන්දුන් වුණා. ඒ අනුව ඔවුන් ස්වීඩනය සමග තරගය පැවැත්වෙන වැලන්සියා නගරයට ගුවනින් ගොස් තිබෙන්නේ ඔවුන් ආදරයෙන් හිමිකර ගෙන සිටි භාණ්ඩ නැතිව.
යුක්රේන ක්‍රීඩකයින් වැලන්සියා යාමට පෙර ඔවුන් කාමරවලින් පිටව සිටියදී නන්නාඳුනන පිරිසක් කාමරවලට කඩා පැන ක්‍රීඩකයින් හා පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ බඩු සොරකම් කර ඇතැයි යුක්රේන මාධ්‍යවේදියෙක් කියා තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







