දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ මීලඟ තරග වාරයේ සිට කණ්ඩායම් ශ්‍රේණිගත කෙරෙනවා.
මේ අනුව ප්‍රධාන ලීගය (Major League), ප්‍රධාන විස්සයි20 (Major T20) හා ප්‍රධාන ඕවර 50 (Major 50-over) යන ශෛලීන් තුනේ එක් එක් ක්‍රීඩා සමාජ දක්වන දක්ෂතා අනුව ඔවුන් අංක 1 සිට අංක 14 දක්වා ශ්‍රේණිගත කිරීමට තීරණය කර තිබෙනවා. මේ කුසලතා මත කණ්ඩායම් උසස් වීමක් ලබනවා ද, පහළට දැමෙනවා ද යන්න තීරණය වනවා.
ශ්‍රේණිගත කිරීම්වල පහළම ස්ථානය ගන්නා කණ්ඩායම "ටියර් බී" අංශයේ ක්‍රීඩා කිරීම දක්වා පහළට දැමෙන අතර "ටියර් බී" ජයග්‍රාහකයා ප්‍රධාන තරගාවලියේ ක්‍රීඩා කිරීම දක්වා උසස් කෙරෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටුවේ සභාපති නලින් අපොන්සො මහතා පවසනවා.
ඒ මහතා මේ කරුණු අනාවරණය කළේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය නංවාලීම පිණිස ගෙන තිබෙන අලුත්ම ක්‍රියාමාර්ගයන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති හමුවේදී.
දේශීය ක්‍රිකට් සමාජවලට මේ උසස් වීමේ හා පහළට දැමීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළේ දක්ෂතම ක්‍රීඩකයින් ඔවුන්ගේ කණ්ඩායම්වල ශෛලීන් තුනේ ම රඳවා ගනිමින් තරගවලට ප්‍රබල තරගකාරිත්වයක් සහතික කිරීමට බවත් එසේ නොවුනහොත් ඔවුන්ගේ ක්‍රීඩා සමාජවල ශ්‍රේණිය පහළට යනු ඇති බවත් ඒ මහතා කියා සිටියා. වර්තමානයේ සාමාන්‍යයෙන් සිදුවන්නේ තෙදින තරගාවලිය නිමා වීමෙන් පසුව ක්‍රීඩකයින් විදෙස් රටවල ක්‍රීඩා කෙරෙන ලීගයන්ට සහභාගි වීම සඳහා යාමෙන් අනෙක් ශෛලීන් දෙකේ තරගකාරිත්වය දුර්වල කිරීම බව අපොන්සො මහතා පැවසුවා.
ප්‍රධාන සමාජ තුන්දින ලීග් තරගාවලියේ ක්‍රීඩා කොන්දේසි දැන් වෙනස් කර තිබෙනවා. ඒ අනුව තරග මධ්‍යස්ථ ක්‍රීඩාංගණවල පැවැත්වෙන අතර තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල තණතීරු සූදානම් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධීක්ෂණය යටතේ.
මීට අමතරව, තරගාවලියන් හි තරගකාරිත්වයේ මට්ටම වැඩි කිරීම සඳහා "සුපිරි අට" හා "ප්ලේට් 6" ක්‍රමවේදය යොදා ගෙන තිබෙන අතර ප්‍රධාන සමාජ 14 සහ ‘ටියර් බී’ කණ්ඩායම් 12 සඳහා 2025 වසරේ සිට වසර පහක ව්‍යූහ වෙනසක් ගෙනැවිත් තිබෙනවා.
තරග පැවැත්වීම සඳහා භාවිතා කරන තණතීරු සකස් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයේ අධීක්ෂණයෙන් සිදු කිරීමෙන් දිස්වන පසුගිය ක්‍රීඩා වාරය (2024-25) හා වර්තමාන ක්‍රීඩා වාරයේ (2025-26) සංසන්දනාත්මක සංඛ්‍යානමය කරුණු අපොන්සො මහතා පෙන්වා දුන්නා.
පසුගිය වාරයේ පැවති තරග 73ක ඉනිම 247කදී කණ්ඩායම් 18ක් ලකුණු 55024ක් වාර්තා කළේ 753.75ක සාමාන්‍යයකින්. එය මේ වාරයේ තරග 67ක ඉනිම 222කින් කණ්ඩායම් 14ක් රැස් කළ 852.87 සාමාන්‍යයකින් යුත් ලකුණු 57142 දක්වා ඉහළ නැග තිබෙනවා.
වේග පන්දු යවන්නන් පසුගිය ක්‍රීඩා වාරයේ කඩුලු 518ක් ලබා ගෙන ඇති අතර මේ වාරයේදී ලබා ගත් කඩුලු ප්‍රමාණය 548ක්. දඟ පන්දු යැවීමේදී පසුගිය වාරයේ කඩලු 1516 සමග සසඳන විට මේ තරග වාරයේදී කඩුලු 1105ක්.
පිතිකරණයේදී පසුගිය ක්‍රීඩා වාරයේදී ශතක 71ක් වාර්තා වූ අතර මේ වාරයේ එය 90 දක්වා වැඩි වී තිබෙනවා. ඒ පිළිවෙලට අර්ධ ශතක ද 243ක් හා 268ක්, ද්විත්ව ශතක 5ක් හා 8ක් වාර්තා වී තිබෙනවා.
පන්දු යැවීමේදී වේග පන්දු යවන්නන් වැඩි දස්කම් පාමින් 2024දී ලබා ගත් කඩුලු පහේ අවස්ථා 14 ට සාපේක්ෂව 2025 වසරේදී කඩුලු පහේ අවස්ථා 19ක් වාර්තා කර තිබෙනවා. එහෙත් දඟ පන්දු යැවීමේදී ප්‍රදර්ශනය වී තිබෙන්නේ පහළ බැසීමක්. එහිදී පසුගිය ක්‍රීඩා වාරයේ කඩලු පහේ අවස්ථාවන් 84ක් සටහන් වී තිබුනත් මේ වාරයේ වාර්තා වී තිබෙන්නේ එවැනි අවස්ථා 45ක් පමණයි.
ප්‍රධාන සමාජ තුන්දින තරගාවලියේ ක්‍රීඩා කරන කණ්ඩායමක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 45ක් බැගින් වැය කරන බව නලින් අපොන්සො මහතා වැඩිදුරටත් සඳහන් කළා. මෙයින් රුපියල් මිලියන 10ක් ක්‍රීඩකයින්ට ගෙවන තරග මුදල්. මීට අමතරව ක්‍රීඩකයෙක් තුන්දින තරගයකට ක්‍රීඩා කිරීමෙන් රුපියල් 8000ක් උපයනවා. ජාතික සුපර් ලීගයට ක්‍රීඩා කරන විට උපයන ප්‍රමාණය වැඩිවනවා.
ප්‍රධාන සමාජ හා "ටියර් බී" තරගාවලියේ තිළිණ ප්‍රදානය කිරීමට ද මේ මාධ්‍ය හමුව අවස්ථාවක් කරගෙන තිබූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටුවේ ලේකම් කසුන් ප්‍රනාන්දු, සාමාජික මාලන් ප්‍රනාන්දුපුල්ලේ හා ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න යන මහත්වරුද ඊට සහභාගි වුනා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු








