ලයනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ආජන්ටිනා පාපන්දු කණ්ඩායම මුදල් ලබා ගැනීමෙන් පසුවත් තරගයක් ක්‍රීඩා කිරීම සඳහා නොපැමිණීමෙන් ඉන්දියාවේ කේරල ප්‍රාන්තය රවටා ඇතැයි කේරල ක්‍රීඩා ඇමති වී. අබ්දුරාහිමන් ප්‍රකාශ කරනවා.
ආජන්ටිනා පාපන්දු කණ්ඩායම හා ලයනල් මෙසී කේරලයට පැමිණ එහිදී තරගයක් ක්‍රීඩා කරනු දැකීමට තමන්ට ඇත්තෙන්ම උවමනා වී තිබූ බව ඔහු කියනවා.
“ඒ වෙනුවෙන් මම සාකච්ඡා කිහිපයක්ම පැවැත්වුවා. ඒ ජාත්‍යන්තර පාපන්දු කණ්ඩායමට රුපියල් කෝටි 250ක් ගෙවන්න අනුග්‍රාහකයින් සොයා ගැනීම ලෙහෙසි කාර්යයක් වුනේ නැහැ. නමුත් ඒ මුදල ලබා ගැනීමෙන් පසුව ආජන්ටිනා පාපන්දු කණ්ඩායම අපට වංචා කළා. එවැනි ද්‍රෝහී වීමක් අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු වුනේ නැහැ. පොරොන්දු වීමෙන් පසුව ආවේ නැහැ” යනුවෙන් ඇමතිවරයා පවසනවා.
මේ සම්බන්ධයෙන් සොයා බලද්දී, ආජන්ටිනාව මේ දෙයම තවත් රටවල් පහකට සිදුකර තිබෙන අයුරු සොයා ගත් බව ඔහු කියා සිටිනවා.
කේරල ක්‍රීඩා ඇමති වී. අබ්දුරාහිමන්
“ඔවුන් ඒ රටවලිනුත් මුදල් ලබා ගෙන තිබුනත් ක්‍රීඩා කරන්න කවරදාකවත් එහෙ ගිහින් නැහැ. මෙය ආජන්ටිනා පාපන්දු කණ්ඩායමට එරෙහිව නඩුවක් පැවරිය යුතු තත්ත්වයක්. ඔවුන් අපට අලාභය ගෙවිය යුතුයි” අබ්දුරාහිමන් සඳහන් කරනවා.
තමා මහත් ආසාවෙන් ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි බැවින් ඔවුන්ගේ රැවටීම නිසා තමා තුළ කලකිරීමක් හා දුකක් ඇතිවූ බවත් ඔහු ප්‍රකාශ කරනවා.
“මේ වංචා කිරීමෙන් කේරලයේ පාපන්දු ලෝලීන්ගේ බලාපොරොත්තු කඩකර තිබෙනවා. මගේ කනස්සල්ල ගැන කාට කියන්නදැයි මම දන්නේ නැහැ.”
ලෝක පාපන්දු ශූරයින් වන ආජන්ටිනා පාපන්දු කණ්ඩායම හා ලයනල් මෙසී මේ වසරේ මාර්තුවේ කේරලයට පැමිණෙන බවට ඇමතිවරයා පසුගිය වසරේ නොවැම්බරයේදී එහි ජනතාවට කියා තිබුණා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







