ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික උසස් කාර්ය සාධන මධ්‍යස්ථානයට නව පුහුණුකරුවන් දෙදෙනෙක් පත්කර තිබෙනවා. දකුණු අප්‍රිකානුවන් වන මේ දෙදෙනා ම නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවන්.
රයන් වැන් නිකර්ක් ජාතික පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්ව සිටින අතර ජෝඩන් ග්‍රෙගරි ජාතික පන්දු රැකීමේ හා දඟ පන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්ව සිටින නිකර්ක් ඔහුගේ කාර්යයේදී ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම ඇතුළුව සියලුම ජාතික කණ්ඩායම්වල වේග පන්දු යැවීම අධීක්ෂණය කිරීමට නියමිතයි. ඔහු වසර 2023 සිට 2026 දක්වා නෙදර්ලන්තයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු හා අන්තර් කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා.
අතුරු කාලීන කාර්යය බාර ගැනීමට පෙර ඔහු නෙදර්ලන්තයේ ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ සහකාර පුහුණුකරු හා පන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් සේවය කර තිබෙනවා.
නෙදර්ලන්ත කණ්ඩායම සමග ගතකළ කාලය තුළ නිකර්ක් එම කණ්ඩායමේ 2023 ලෝක කුසලානය, 2024 විස්සයි20 ලෝක කුසලානය හා 2026 විස්සයි20 ලෝක කුසලානය වැනි ප්‍රධාන තරගාවලියන් හි සහභාගිත්වය සඳහා දායක වී තිබෙනවා.
රයන් වැන් නිකර්ක් ට මේ පත්වීම ලබා දී තිබෙන්නේ 2026 අප්‍රේල් 15 සිට දෙවසරකට.
ජාතික පන්දු රැකීමේ හා දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර තිබෙන ජෝඩන් ග්‍රෙගරි නෙදර්ලන්ත කණ්ඩායමේ පන්දු රැකීමේ උපදේශකයෙකු ලෙස සේවය කර තිබෙනවා. ඔහුට පැවරී තිබෙන වගකීම වන්නේ ජාතික පිරිමි කණ්ඩායම ඇතුළු උසස් කාර්ය සාධන මධ්‍යස්ථානයේ සියලුම ජාතික කණ්ඩායම්වල පන්දු රැකීම හා දඟ පන්දු යැවීම නිරීක්ෂණය කිරීමයි.
නෙදර්ලන්ත කණ්ඩායම සමග ඔහුගේ සේවා කාලයේදී ග්‍රෙගරි ද්විපාර්ශ්වික හා බහුජාතික තරගාවලියන් කිහිපයකටම දායක වී තිබෙන අතර 2023 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ද මීට ඇතුළත්.
ජෝඩන් ග්‍රෙගරි ද ඔහුගේ දෙවසරක සේවය ආරම්භ කරන්නේ 2026 අප්‍රේල් 15 වැනිදා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







