කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව (DR Congo) වසර 52ක් තුළ ප්‍රථම වතාවට ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට මෙවර සහභාගි වනවා. එහෙත් අවසන් වරට ඔවුන් මේ තරගාවලියට සහභාගි වෙද්දී ඒ රටට තිබුනේ සම්පූර්ණයෙන්ම වෙනස් නමක්.
අතීතයේ 1974 වසරේදී සයීර් (Zaire) දේශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබූ එදා මෙදා තුර පළමු උප-සහරාන් අප්‍රිකානු රට (භූගෝලීය වශයෙන් සම්පූර්ණයෙන් හෝ අර්ධ ලෙසින් සහරා කාන්තාරයට දකුණු දෙසින් පිහිටි රටවල්) බවට පත්වුණා. මොහමඩ් අලි සහ ජෝර්ජ් ෆෝමන් අතර සුප්‍රසිද්ධ Rumble in the Jungle ලෝක හෙවිවේට් බොක්සිං තරගය සයේ හිදී පැවැත්වුනේ ද එම වසරේ.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබූ පළමු අප්‍රිකානු රට බවට ඊජිප්තුව 1934දී පත්වූව ද, කළු අප්‍රිකානු රටක් ප්‍රථම වතාවට මේ තරගාවලියට සහභාගි වූයේ 1974 වර්ෂයේ.

1960 වසරේදී බෙල්ජියමෙන් නිදහස ලැබීමෙන් පසුව 1971 වසර දක්වා මේ රට හැඳින්වූයේ කොන්ගෝ ලෙසින්. ඒකාධිපති මොබූටු සෙසෙ සෙකූ (Mobutu Sese Seko) එය සයීර් ලෙස නැවත නම් කළ ද, 1997 වසරේ ඔහුව බලයෙන් පහකරනු ලැබීමෙන් පසුව ඒ රට නැවත මතුවූයේ කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව ලෙසයි.
1974 වසරේ බටහිර ජර්මනියේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබූ එකම අප්‍රිකානු කණ්ඩායම වූයේ සයීර් රටයි. 1966 වසරේ ආරම්භ වූ පළමු කොන්ගෝ යුද්ධයේ ප්‍රචණ්ඩත්වය මධ්‍යයේත් සයීර් පාපන්දු ලෝකයේ බලවත් කණ්ඩායමක් බවට පත්ව සිටියා.
ඒ දිනවල ඔවුන් සතුව ප්‍රිමිය ලීග් ක්‍රීඩකයින් සිටියේ නැහැ. අප්‍රිකානු පාපන්දු තරු මහත් උනන්දුවකින් යුතුව ඉහළම පෙලේ යුරෝපීය කණ්ඩායම්වලට රංචු පිටින් සංක්‍රමණය වීම 1980 හා 90 යුගය වනතුරු ම ආරම්භ වී තිබුනේ නැහැ. එබැවින් සයීර් පාපන්දු කණ්ඩායම බටහිර ජර්මනියට පැමිණියේ පාපන්දු ලෝකය නොදන්නා කණ්ඩායමක් ලෙසින්.
ඔවුන්ගේ කාරිය වී තිබුනේ 1970 ගණන්වල බලවත් කණ්ඩායමක් බවට පත්ව සිටි බ්‍රසීලය, තවත් ශක්තිමත් කණ්ඩායමක් වූ ස්කොට්ලන්තය හා භයානක යුගෝස්ලාවියානු කණ්ඩායමට එරෙහිව තරග කිරීමයි.

ස්කොට්ලන්තය ගෝල් 2-0ක ජයක් අත්කර ගත්තා. ඉන්පසුව, සයීර් මුහුණ දුන්නේ යුගෝස්ලාවියාව ට. මේ අවස්ථාවේදී එළිදරව් වූයේ අප්‍රිකානු පාපන්දුවට පැල්ලමක් එක් කළ සිදුවීම් පෙළක්.
සයීර් කණ්ඩායම ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමෙන් ඒකාධිපති මොබුටු ප්‍රමුදිතව සිටීම පුදමයක් නෙවෙයි. කොන්ගෝවේ අප්‍රිකානු ශක්තිය පිළිබඳ තම දර්ශනය ලොවට ප්‍රදර්ශනය කිරීමේ ප්‍රබෝධයෙන් සිටි ඔහු සියලුම ක්‍රීඩකයින්ට අලුත් නිවාස හා කාර් ලබා දීමට අදහස් කර සිටි බව පැවසෙනවා.
ඉන් නොනැවතුනු ඔහු තරගාවලිය අතරතුර ක්‍රීඩකයින්ට අවශ්‍ය වුවහොත් ඔවුන්ට අත පෙවීමට හැකි විශාල සල්ලි මල්ලක් හා කණ්ඩායම සමග බටහිර ජර්මනිය ට යාමට රජයේ හා සයීර් පාපන්දු නිලධාරීන් අති විශාල පිරිවරක් සූදානම් කළා.
කෙසේ වෙතත්, නිලධාරීන්ට ස්තූතිවන්ත වන්නට පළමු තරගයෙන් පසුව ම සල්ලි මල්ල හිස්වුණා.
තමන්ගේ ලෝක කුසලාන අරමුදල හිස්කර ඇති බව පමණක් නොව ඒ වෙන්කළ මුදල ලෝක කුසලාන තරගාවලියේ තමන්ගේ වැටුප් හා බෝනස් මුදල් ද වන බවට සයීර් ක්‍රීඩකයින් වටහා ගැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැහැ.
තමන්ගේ ම මිනිසුන් තමන්ට ද්‍රෝහී වී ඇති බව දැනගත් සයීර් සංචිතයේ වැඩි දෙනෙක් යුගෝස්ලාවියාව ට එරෙහිව තරග නොකරමින් වර්ජනයක නිරත වීමට තීරණය කළා. මේ නිසා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට මීට මැදිහත් වීමට සිදුවූ අතර තරගාවලිය ලජ්ජාවට පත්වීම වළක්වා ගැනීම පිණිස සම්මේලනය ජර්මනියේ මුදලින් ඩොයිච්මාක්ස් 3,000ක් ක්‍රීඩකයින්ට ගෙවා දැමුවා.
අනතුරුව සිදුවුනේ අභිමානය හෝ ආශාවෙන් තොර සයීර් කණ්ඩායමක් අකමැත්තෙන් පිටියට පිවිසීමයි. එහි ප්‍රතිඵලය වුනේ ඔවුන් ගෝල් 9-0කින් යුගෝස්ලාවියාව ට පරාජය වීමයි. මෙය ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ ලොකුම පරාජය ලෙස සටහන්ව තිබෙනවා.

දැන් ඉතිරිව තිබුනේ බ්‍රසීලය සමග තරගය පමණයි. මේ වන විට සයීර් කණ්ඩායම ලෝක කුසලානයේ විහිළුව බවට පත්ව තිබුණා. ඒ වන විටත් තරගාවලියෙන් ඉවතට විසිවී ෙඑතිහාසික පරාජයක් ලැබ සිටි ඔවුන්ට තරගාවලියේ හොඳම කණ්ඩායමක් වූ බ්‍රසීලය ට මුහුණ දීම තමන්ට සිදුවිය හැකි නරකතම සිදුවීම බවට පත්ව තිබුණා.
ඒකාධිපති මොබූටු වැනි පුද්ගලයෙක් නින්දාවට පත්වීමට කැමති නැති වීම අරුමයක් නෙවෙයි. එබැවින් නැවත වතාවක් මැදිහත් වීමට ඔහු තීරණය කළා. ඒ අනුව, බ්‍රසීලය සමග තරගය ජීවිතය හා මරණය අතර දෙයක් බවට පත්වූ බව කණ්ඩායමේ පසුපෙල ක්‍රීඩක Mwepu llunga ‘බී.බී.සී.’ සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා.
“පරාජයෙන් පස්සේ අපිට තර්ජනය කරන්න මොබුටු එයාගේ ජනාධිපති ආරක්ෂකයින් එවුවා. ඔවුන් සියලුම මාධ්‍යවේදීන්ට හෝටලය වසා දමා, අපි 0-4කින් බ්‍රසීලයට පැරදුනොත් අපි කිසිම කෙනෙකුට ආපහු ගෙදර යන්න ලැබෙන්නේ නැහැ කියලා කිවුවා” යනුවෙන් එම ක්‍රීඩකයා කියා තිබුණා.
0-4ක තරග ප්‍රතිඵලයක් මොබුටු ඒකාධිපතියාට මැජික් ලකුණු සටහනක් වූයේ ඇයි ද කියා කියන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ.
ලෝක කුසලාන තරගාවලියට ප්‍රථම වතාවට සහභාගි වෙමින් සිටි කණ්ඩායමට එරෙහිව බ්‍රසීලය ගෝල් 2-0ක් පෙරමුණක් ලබා ගෙන තරගය අවසන් වීමට මිනිත්තු දහයක් තිබියදී බ්‍රසීලය ට නිදහස් පහරක් ලැබුණා. නමුත් ඔවුන් එය ලබා ගැනීමට පෙර ඉදිරියට කඩාපැන්න සයීර් ආරක්ෂක පෙල ක්‍රීඩකයෙක් පන්දුවට පහරක් එල්ල කළා.
සාමාන්‍ය කෙනෙකුට මෙය පෙනුනේ පාපන්දු ක්‍රීඩාවේ නීති ගැන දැනුමක් නැති ක්‍රීඩකයෙකුගේ ක්‍රියාවක් ලෙසයි. මෙය අප්‍රිකානු නූගත්කමේ විකාර මොහොතක් බව ‘බී.බී.සී’යේ විස්තර ප්‍රචාරකයා කියා සිටියා.
Mwepu llunga
නමුත් එය නූගත්කමක් වී තිබුනේ නැහැ. එය මෝඩකමක් ද නෙවෙයි. එය භීතිය යි. එය, තමන්ට 0-4ක පරාජයක් දැරිය නොහැකි බව දැන සිටි සයීර් කණ්ඩායම බ්‍රසීලය ව්‍යාකූල කරමින් කාලය නාස්ති කිරීමට සැලසුම් කළ උපායශීලී ක්‍රියාවක්.
බ්‍රසීලය යළි ගෝලයක් ලබා ගත්ත ද තරගය ගෝල් 3-0කින් අවසන් වූ අතර සයීර් කණ්ඩායම සාදරයෙන් පිළිනොගැනුනත් ඔවුන්ට ආරක්ෂිතව නැවත සියරට යාමට හැකිවුනා.
ජාතික වීරයින්ව සිට අපකීර්තියට පත්ව, අතේ සතේ නැතිව, සමාජයෙන් පිටමං කරනු ලැබූ මේ ක්‍රීඩකයින් සියලු දෙනාගේම පාහේ ක්‍රීඩා ජීවිත සැණින් අවසන් වුනා.
මොබූටු වහාම පාපන්දුව පිළිබඳ ඔහුගේ තාලය වෙනස් කළා. ඔහු ජාතික කණ්ඩායමට මුදල් සැපයීම කපා දැමූ අතර පාපන්දු ක්‍රීඩාව රටේ පරම්පරාවක්ම අප්‍රසාදය පළකළ ක්‍රීඩාවක් බවට පත්වුනා.

දැන් කොන්ගෝව මර්දනය කර තිබුනු සයිර් රටේ අළුවලින් නැගී සිටිමින් ලියේ2026 ලෝක කුසලාන පාපන්දු තරගාව ස්ථානයක් හිමි කරගෙන සිටිනවා. ඔවුන් මෙවර තරගාවලියේ සිටින අප්‍රිකානු රටවල් දහයෙන් එක් කණ්ඩායමක් වන අතර ඔවුන් සතුව යුරෝපය වටා ඇති ඉහළම පෙලේ ලීගයන්හි ක්‍රීඩා කරන ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් සිටිනවා.
නැවත ඈඳුණු දේශයක් බවට පත්ව සිටින කොන්ගෝව ඔවුන්ගේ රටේ කතන්දරය නැවත ලියන්න දැන් සූදානම්!
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







