ඉතාලි ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබුවහොත් ඔවුන් බෝනස් මුදලක් ඉල්ලා සිටි බව වාර්තා වනවා.
බොස්නියා සහ හර්සගොවිනා කණ්ඩායමට එරෙහිව පසුගිය සතියේ පැවති 2026 ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලබා ගැනීමේ තීරණාත්මක තරගයට පෙර ඉතාලි පාපන්දු ක්‍රීඩකයින් ඔවුන්ගේ වාසනාව උරගා බැලීමට උත්සාහ කළ බව ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
වසර 12කට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබුවහොත් යුරෝ 10,000ක් (පවුම් 8,730) බැගින් බෝනස් මුදලක් ක්‍රීඩකයින් ඉල්ලා සිටි බව එම වාර්තාව කියනවා.
ඒ ත්‍යාග මුදල මුළු සංචිතයට අනුව ඩොලර් 300,000ක් (පවුම් 260,000) වීමට ඉඩ තිබූ බවට ගණන් බලා තිබෙනවා.
එම ඉල්ලීම ඉවත් කරගන්නා ලෙසටත් එසේ නැත්නම් එම ඉල්ලීම අවම වශයෙන් ලෝක කුසලාන තරගාවලියට ඇත්තෙන්ම සුදුසුකම් ලැබීමෙන් පසුව ඉදිරිපත් කරන ලෙසටත් පුහුණුකරු ජෙනාරෝ ගුටීසෝ ක්‍රීඩකයින් කැමති කරවා ගෙන ඇතැයි පැවසෙනවා.
එය ඉතාලි කණ්ඩායම තවත් ලජ්ජාවට පත්වීමෙන් බේරා ගැනීම පිණිස ගත් නිවැරදි පියවරක් බවට තහවුරු වුනේ ඔවුන් කුඩා කණ්ඩායමක් වන බොස්නියාව හමුවේ පෙනල්ටිවලින් පරාජය වී ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවූ බැවින්.
මේ පරාජයෙන් පසුව ගුටීසෝ තනතුරෙන් ඉවත් වූ අතර එය සිදුවුනේ ක්‍රීඩකයින්ගේ අකමැත්තෙන් බව වාර්තා වනවා.
මේ අතර ඉතාලිය ට තවත් දැඩි පහරක් එල්ල වෙමින්, 2032 යුරෝ කුසලාන තරගාවලියේ ඔවුන්ගේ සම සත්කාරකත්වය දැන් සැක සහිත තත්ත්වයකට ඇද දමා තිබෙනවා.
ඉතාලිය ඔවුන්ගේ ක්‍රීඩාංගණ පහසුකම්වල තත්ත්වය දියුණු නොකළහොත් ඔවුන්ගේ සම සත්කාරකත්වය සහතික කළ නොහැකි බවට යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනයේ (UEFA) ප්‍රධානියා වන ඇලෙක්සැන්ඩ සෙෆරන් අනතුරු අඟවා තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







