වසර හතළිහකට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගෙන මෙක්සිකෝවේ සිට පෙරළා සියරට පැමිණි ‘මෙසපොටේමියාවේ සිංහයන්’ ලෙසින් හැඳින්වෙන ඉරාකයේ ජාතික පාපන්දු කණ්ඩායම දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා.
ඉරාක අගමැති ෂියා අල්-සුඩානි ක්‍රීඩකයින්ට සුබ පතමින් ඔවුන් උණුසුම් අයුරින් සිකුරාදා පිළිගැනීමෙන් පසුව සෙනසුරාදා වහලය විවෘත බස් රථයකින් බැග්ඩෑඩ් අගනගරය මැදින් කණ්ඩායම ගෙන යද්දී දහස් ගණන් පිරිමින්, කාන්තාවන් හා දරුවන් මහත් උද්යෝගයෙන් ඔවුන්ට ‘චියර්’ කළා.

මේ ෙඑතිහාසික ජයග්‍රහණය සැලකිල්ලට ගෙන ඉරාක පාපන්දු කණ්ඩායමට නේවාසික දේපළ හා තානාපති විදෙස් ගමන් බලපත්‍ර ලබා දෙන බවත් ඔවුන්ගේ ජයග්‍රාහී ක්‍රියාව ගැන ගීතයක් නිර්මාණය කිරීමට බලය පවරන බවත් ඉරාක කැබිනට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
සමරු මුද්දර නිකුත් කිරීම, බිතු සිතුවමක් අගනුවර සිතුවම් කිරීම හා සෑම පාලන ප්‍රදේශයකම එක් වීදියක් Lions of Mesopotamia (මෙසපොටේමියාවේ සිංහයන්) ලෙසින් නම් කිරීමට කටයුතු කළ යුතු බවට ද එම නිවේදනයෙන් යෝජනා කර තිබෙනවා.
ළඟදී පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මේ පියවරවලට අනුමැතිය ලැබෙනු ඇතැයි එම නිවේදනයේ දැක්වෙනවා.
අමෙරිකාව හා ඊශ්‍රායලය විසින් පෙබරවාරි 28 වැනිදා ඉරානය ට එරෙහිව දියත් කළ යුද්ධයට ඉරාකය නොකැමැතිව ඇදගෙන තිබෙන්නේ එරට තිබෙන අමෙරිකානු දේපළ ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරමින් මෙන්ම ඉරාකයේ සිටින ඉරාන හිතවාදී කල්ලිවලට පහර දෙමින්.
පළමු ගුවන් ප්‍රහාරවලින් පසුව ඉරාකය ඔවුන්ගේ ගුවන් ප්‍රදේශය වසා දැමුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉරාක පාපන්දු කණ්ඩායමට ඔවුන්ගේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයට සහභාගි වීම පිණිස ජෝර්දානය හරහා මෙක්සිකෝව ට දින තුනක ඉතාමත් වෙහෙසකාරී ගමනක නිරත වී ආපසු පැමිණීමට සිදුවුනා.
මෙක්සිකෝවේදී ඉරාක කණ්ඩායම ගෝල් 2-1කින් බොලිවියාව පරාජය කරමින් 1986 වසරෙන් පසුව ප්‍රථම වතාවට ලෝක කුසලාන පාපන්දු වේදිකාවේ පෙනී සිටීමේ අවස්ථාව ඉරාකය ට හිමිකර දුන්නා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







