ක්‍රිකට තරගයක දුවද්දී දැවී යාමේ තීරණයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකදී තරග විනිසුරුවෙකුට පිහියෙන් ඇන මරා දැමීමේ
බිහිසුණු සිද්ධියක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
අන්ද්‍රා ප්‍රදේශ් හි විසාඛාපට්නම් නුවර පැවති දේශීය ක්‍රිකට් තරගයකදී මේ ඝාතනයට ලක්ව තිබෙන්නේ තරගය විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි 21 හැවිරිදි පුද්ගලයෙක්.
පිහි ඇනුමක් ලක්වූ ඩෝලා අජිත් බාබු නමැත්තා ඔහුගේ මිතුරෙකු වන බුදුමුරි චිරන්ජීවි සමග ඉරිදා දේශීය ක්‍රිකට් තරගයක් විනිශ්චය කරමින් සිටියදී මතභේදයට තුඩු දුන් දුවද්දී දැවී යාමේ තීරණයක් සම්බන්ධයෙන් දේශීය කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අතර උණුසුම් වාදයක් හටගෙන තිබෙනවා. එම අවස්ථාවේදී පිටියේ තරග විනිසුරුවන් දෙදෙනා අප්‍රමාදව ඊට මැදිහත් වෙමින් ක්‍රීඩා පිටියේ තත්ත්වය සමථයකට පත්කර තිබෙනවා. කෙසේ වෙතත්, දෙපිල අතර ඇතිව තිබූ නොඉවසුම් ගතිය සම්පූර්ණයෙන් යටපත් වුනේ නැහැ.
කන්ටා කිශෝර් ලෙසින් හඳුනා ගෙන ඇති 26 හැවිරිදි නරඹන්නෙක් තරගයට කෙළින්ම මැදිහත් නොවී ක්‍රීඩකයින් හා තරග විනිසුරුවන්ට පරිභව කිරීමට පටන් ගත් බව පැවසෙනවා. අවසානයේදී තරගය නිමා වූ විට තත්ත්වය දරුණු අතට හැරී තිබෙනවා.
පසුව කිශෝර් ආරවුල සමථයකට පත් කිරීමට යනුවෙන් අඟවමින් තරග විනිසුරුවන් අසල ස්ථානයකට කැඳවා තිබෙනවා. අජිත් බාබු, චිරන්ජීවි සහ තවත් කිහිප දෙනෙක් කිශෝර් හමුවීමට ගිය ද එතැනදී තත්ත්වය පාලනය කිරීමට නොහැකි වී තිබෙනවා.
“තවත් වාදයක් ඇතිවුනා. කිශෝර් සැණින් පිහියක් ඇදගෙන ඔහුට පහර දුන්නා” යනුවෙන් පොලිස් නිලධාරියෙක් මාධ්‍යයට පවසා තිබෙනවා.
පපුවට පිහියෙන් අනිනු ලැබූ අජිත් බාබු බිම ඇද වැටී තිබෙනවා. එතැනින් පළා යද්දී චිරන්ජීවි තුවාල ලබා ඇති අතර සිද්ධියට මැදිහත් වීමට උත්සාහ කළ තවත් පුද්ගලයෙකුට ද තුවාල සිදුව තිබෙනවා. තුවාල ලැබූ සියලු දෙනා වහාම අසල රෝහලකට රැගෙන ගොස් තිබෙන අතර අජිත් බාබුව ඇපලෝ රෝහලට ගෙන ගොස් තිබෙනවා. එහිදී ප්‍රතිකාර ලබන අතරතුර ඔහු මිය ගිය බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙනවා.
මීට කලින් තරගයේ පෙරවරු ක්‍රීඩාවේදී පිතිකරුවෙකු ලබා ගත් එක ලකුණක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් ගමේ වැඩිහිටියන් මැදිහත්ව විසඳා තිබූ බව මිය ගිය පුද්ගලයාගේ සොහොයුරා පවසා තිබෙන බව වාර්තා වනවා. එහෙත් කිශෝර් පසුව බීමත්ව පැමිණ හිතා මතා ම තරග විනිසුරුට පහර දී තිබෙනවා.
මිය ගිය පුද්ගලයාගේ පියා විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය කිශෝර් ට එරෙහිව මිනීමැරුම් නඩුවක් පවරා තිබෙනවා. කිශෝර් දැන් නීතයෙන් බේරීම සඳහා පළා ගොස් සිටින අතර ඔහු සෙවීම දැන් ආරම්භ වී තිබෙන බව වාර්තා වනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







