යුක්රේනයේ කරාටේ ශූරයෙක් 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී දිනා ගත් ලෝකඩ පදක්කමක් වෙන්දේසියකදී මිලදී ගත් ජපානයේ පුද්ගලයෙක් එම පදක්කම නැවත එම ක්‍රීඩකයාට ලබා දී තිබෙනවා.
ස්ටැනිස්ලව් හොරුනා (Stanislav Horuna) එම පදක්කම 2022 වසරේදී වෙන්දේසියක අලෙවියට තැබුවා. ඔහු එම පදක්කම හිමි කරගෙන තිබුනේ කරාටේ කුමිතේ කිලෝග්‍රෑම් 75ට අඩු අංශයෙන්. නමුත් රුසියානු ආක්‍රමණය මධ්‍යයේ තමාගේ රටට ආධාර කිරීම පිණිස එම පදක්කම විකිණීමට ඔහු තීරණය කළා.

පදක්කම ඩොලර් 20,500කට ජපානයේ පුද්ගලයෙකු විසින් මිලදී ගෙන තිබූ අතර එම පුද්ගලයා ටෝකියෝ නගරයේ කරාටේ ක්‍රීඩා සමාජයක් සමග සබඳතා තිබෙන කෙනෙක්.
ගැනුම්කරු මුලදී සැලසුම් කර තිබුනේ යුද්ධය අවසන් වී යුක්රේනය ට සාමය උදාවීමෙන් පසුව එම පදක්කම නැවත හොරුනා ට බාර දීමටයි. එහෙත් රුසියානු ආක්‍රමණය තවමත් සිදුවෙමින් තිබෙන තත්ත්වය හමුවේ සාමය අපේක්ෂාවෙන් පදක්කම කලින්ම යළි හොරුනාට ලබා දීමට ගැනුම්කරු තීරණය කළා.

කරාටේ ක්‍රීඩා සමාජයේ දරුවෙක් එම සමාජ ශාලාවේ පැවති උත්සවයකදී පදක්කම හොරුනාගේ ගෙල වටා පැළඳුවා. එය අගය කිරීම පිණිස හොරුනා දරුවන්ට කරාටේ ඉගැන්වූයේ ඔහුගේ කුසලතාවන් ප්‍රදර්ශනය කරමින් හා ඔහුගේ තාක්ෂණය පියවරෙන් පියවරට කියා දෙමින්.
තමාට සහයෝගය ලබා දෙන පුද්ගලයින් සිටින බව දැනගැනීම තමාට ලොකු සතුටක් බව හොරුනා පැවසුවා. මේ පදක්කම තමාගේ පුතාට පෙන්වමින් ඔහුව ලොකු සිහින දැකීම සඳහා උනන්දු කිරීමට තමාට අවශ්‍ය බව යුක්රේන කරාටේ ශූරයා ප්‍රකාශ කරනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







