ඉන්දියා ප්‍රිමිය ලීගයේ (IPL) ක්‍රීඩා කිරීමට අවසර (NOC – No Objection Certificate) නොලැබීමෙන් පසුව උසාවි ගිය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර දැන් U හැරවුමක් ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලා ඇති ඔහු නඩුව ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විද්‍යුත් පණිවුඩයක් යවා ඇති තුෂාර, සිද්ධිය දිගඇරුනු අන්දම පිළිබඳව ඔහුගේ කණස්සල්ල පළ කර තිබෙනවා. තමා ක්‍රිකට් පාලක මණ්ඩලය අපහසුවට පත් කිරීමට කිසිවිටෙකත් අදහස් නොකළ බවට එම පණිවුඩයෙන් අවධාරණය කර ඇති ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලය දරන මතයට තමා ඉහළින්ම ගරු කරන බව නැවත නැවත කියා තිබෙනවා.
නුවන් තුෂාරගේ මේ වෙනස්වීම සිදුවන්නේ ඔහු විසින් ගොනු කරනු ලැබූ නඩුවට අභියෝග කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දිස්ත්‍රික් උසාවියට දැන්වීමෙන් පසුව. IPL වැනි විදෙස් ෆ්‍රැන්චයිස් තරගාවලියන්ට සහභාගි වීමට අවශ්‍ය NOC නමැති ලේඛනය තමාට ලබා දෙන ලෙසට ක්‍රිකට් ආයතනයට බලකරමින් උසාවි නියෝගයක් නිකුත් කරන්නැයි තුෂාර අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට පෙර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුනේ ඔහු අනිවාර්ය ශරීර යෝග්‍යතා පරීක්ෂණ අසමත්ව සිටි බැවින්. අලුත්ම නඩු විභාගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තත්ත්වය උසාවිය පිළිගත් අතර නඩුව අප්‍රේල් 23 වැනිදා යළි ඇසීමට තීරණය කර තිබෙනවා.
31 වැනි වියේ පසුවන නුවන් තුෂාර 2022 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර විස්සයි20 තරග 30කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා. ඔහු 2026 IPL තරග වාරයේදී රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගාලුරු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව සිටියා. ඔහු මීට කලින් 2024 හා 2025 වසරවලදී ක්‍රීඩා කළේ ද එම කණ්ඩායමටයි.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







