leader s

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිසිල් සුළඟ හමන එක් සැඳෑවක 18 හැවිරිදි කොල්ලෙක් මීටර් 200 ඉසව්ව තත්පර 19.67කින් අවසන් කළා. 


ඔස්ට්‍රේලියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ගවුට් ගවුට් (Gout Gout) වාර්තා කළ මේ දිවීමෙන් ඔහු ජාතික ශූරතාව හිමිකර ගත්තා පමණක් නොව යූසේන් බෝල්ට් මේ වයසේදී ම පිහිටුවා තිබූ වයස අවුරුදු 20න් පහළ ලෝක වාර්තාව බිඳ දැමීමට ද සමත් වුනා.
 
ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන බෝල්ට් ඔහුට වයස 18දී සටහන් කළේ තත්පර 19.93ක්. ගවුට් ඊට වඩා වේගවත් වී සිටිනවා. මේ වික්‍රමයෙන් ගවුට් තත්පර 20 බාධකය නීත්‍යානුකූලව බිඳ දැමූ පළමු ඔස්ට්‍රේලියානු ජාතිකයා බවට පත්වනවා.
b56u567
 
“මේක තමයි මම බලා හිටපු දෙය. මම මේ දිවීම නීතිමය විදියට කරපු බව දැනගැනීමෙන් මගේ උරහිසේ තිබුනු ලොකු බරක් සැහැල්ලු වුනා. මගේ ළඟ වේගය තියෙනවා. තවත් වේගවත් වෙන්න මම සූදානම්” යනුවෙන් ගවුට් කියා සිටියා. කලක සිට මේ ක්‍රීඩකයාව යූසේන් බෝල්ට් නමැති ලෙජන්ඩ් ට සමාන කර තිබෙන්නේ ‘ඊළඟ බෝල්ට්’ යන ලේබලය ගසමින්.

වයස 18දී බෝල්ට් ආශ්චර්යමත් ක්‍රීඩකයෙකුව සිටියා. 18 වැනි වියේදී ගවුට් වේගයෙන් දියුණු වෙමින් සිටින අතර මේ තරගයේදී ඔහු බෝල්ට් පසුකර ගොස් තිබෙනවා. බෝල්ට් 2008 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පැමිණියේ තත්පර 19.75ක හොඳම පෞද්ගලික දක්ෂතාවක් සමග ගවුට් දැන් එම දක්ෂතාව ඒ වයසේදී ම අභිභවා ගොස් සිටිනවා.

බෝල්ට්ගේ ලෙගසිය ගොඩනැගුනේ ඔලිම්පික් රන් පදක්කම්, ලෝක වාර්තා සහ ආධිපත්‍යය පැතිරවීම මත. ගවුට් ට, මාර්ගය දීර්ඝ එකක් වී තිබෙනවා. ඔහුගේ නැගිටීම ක්ෂණිකව සිදුවූවක් නෙවෙයි.
 

ක්වීන්ස්ලන්තයේ ඉප්ස්විච් උපනගරයේදී ගවුට් සුඩාන මාපියන්ට දාව උපන්නේ 2007 වසරේ. සුඩානයේ ප්‍රචණ්ඩත්වයෙන් පළා ගිය මාපියන් ඊජිප්තුව හරහා පැමිණ අවසානයේදී ඔස්ට්‍රේලියාවේ පදිංචි වූයේ වසර 2000 වකවානුවේ. ගවුට්ව මුල් වයසේදීම මලල ක්‍රීඩාවට යොමු කෙරුනා.
 
ක්වීන්ස්ලන්තයෙන් පැමිණි මේ නව යොවුන් වියේ ක්‍රීඩකයා මීට දෙවසරකට අඩු කාලයකට පෙර 2024 වසරේ පසුභාගයේදී පීටර් නෝමන්ගේ වසර 56ක් පැරණි මීටර් 200 ජාතික වාර්තාව මකා දමා ගෝලීය මලල ක්‍රීඩා ක්ෂේත්‍රය ආක්‍රමණය කිරීමෙන් පසුව ඇදහීමට ලක්වූ රුවක් බවට පත්වුනා. ගවුට් 2025 වසරේදී ගෝලීය සිරස්තල මැවුවේ ප්‍රථම වතාවට ජපානයේදී ලෝක ශූරතාවලියකට සහභගි වෙමින් හා මීටර් 200 අවසන් පූර්ව තරගයේ පෙනී සිටිමින්.
එහෙත් මේ වසරේ පසු කාලයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල මඟ හැරීමට තීරණය කර ඇති ඔහු ඒ වෙනුවට යුජීන් නගරයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා වයස අවුරුදු 20න් පහළ ශූරතාවලිය ඉලක්ක කරගෙන සිටිනවා.
 
BRISBANE, AUSTRALIA - MARCH 16: (EDITORS NOTE: Image has been processed using digital filters) Gout Gout reacts as the official clock flashes a time of "20:05", the fastest 200m sprint of 2025, after the Men 200m Under 20 Prelims during the Queensland Athletics Championships at Queensland Sport and Athletics Centre on March 16, 2025 in Brisbane, Australia. (Photo by Albert Perez/Getty Images)

“මට තාම වයස 18ක් විතරයි. පැහැදිලිවම මට තවත් වේගවත් වෙන්න පුළුවන්” යනුවෙන් ඔහු පවසනවා. ගවුට් ගවුට් තවමත් මලල ක්‍රීඩාව ඔහුගේ අණසකට යටත් කරගෙන නැති වූවත්, තත්පර 19.67ක් සටහන් කර තිබෙන මේ මොහොතේ ඔහු ලෝක මලල ක්‍රීඩාවේ අනාගතයට එබිකම් කර බලමින් 2028 වසරේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 හා 200 කිරුළුවලට ශක්තිමත් ප්‍රියතම තරගකරුවෙකු බවට පත්ව සිටිනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.   

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්