ඊයේ (25) පස්වරුවේ පැවති ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී (2026 -30) එහි සභාපති ධූරයට ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනයේ වත්මන් සභාපති අසංග සෙනෙවිරත්න වැඩි ඡන්ද පහකින් තේරී පත් විය.
එහිදී අසංග සෙනවිරත්න ඡන්ද 16 ක් ලබා ගත් අතර ඔහුගේ ප්‍රතිවාදී සභාපති අපේක්ෂකයන් වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් ඡන්ද 11 ක්ද ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සම්මේලනයේ උප සභාපති ශිරන්ත පීරිස් ඡන්ද දෙකක්ද ලබා ගත්තේය. එක් ඡන්දයක් අහෝසි වී තිබිණ.
අසංග සෙනවිරත්න මෙරට ඔලිම්පික් කමිටුවේ මුල් පුටුවට තේරී පත්වූ පළමු අවස්ථාව මෙයයි. ඔහු ඊට පෙර කමිටුවේ උප සභාපති ධූරයක් දරා තිබේ.
නිලවරණයේදී සභාපති ධූරයට නාමයෝජනා භාරදී සිටි සෙසු අපේක්ෂකයන් වන දේවා හෙන්රි හා ප්‍රිති විරාජ් පෙරේරා දෙදෙනා නිලවරණය කැදවන අවස්ථාවේදී සිය නාම යෝජනා ඉල්ලා අස් කර ගත්හ.
කොළඹ ටොරිංටන් පෙදෙසේ සිය කමිටු ශ්‍රවණාගාරයේදී නිමාවට පත්වූ ජාතික ඔලිම්පික් කමිටුවේ 2026 - 30 නව විධායක සභාව පත් කර ගැනීමේ නිලවරණය සදහා විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණි.
නිලවරණය කැඳවීමෙන් පසුව ශ්‍රී ලංකා හිම ක්‍රීඩා සංගමයේ හා ශ්‍රී ලංකා තුන් ප්‍රයාම සම්මේලනයේ ඡන්ද බලය අහෝසි කිරීමට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ ලිඛිතව ලබා දුන් බව කියන නියෝගයක් ඔලිම්පික් කමිටුවේ නිලවරණ නිරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි ගේ සභාපතිත්වයෙන් යුත් නිලවරණ කමිටුව විසින් ප්‍රතික්ෂේප කළ බව වාර්තාවේ.
ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනයේ ඡන්ද බලය ඊට පෙරම අහෝසි කිරීමෙන් එතෙක් නිලවරණයට සූදානම් කර තිබූ මුළු ඡන්ද ගණන 31 න් 30 කට එසේ සීමා විය. නිලවරණය පවත්වා අවසන් වන තුරු ජාතික ඔලිම්පික් කමිටු පරිශ්‍රයට මාධ්‍යවේදීන් ඇතුළු බාහිර පාර්ශව වෙත ඇතුළුවීම මුළුමණින්ම තහනම් කර තිබුණි.
හිටපු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මෙවර නිලවරණයට ඉදිරිපත් නොවූයේ ව්‍යවස්ථානුකූලව සභාපති ධූරයේ නිල කාලයන් දෙකක් ඔහු ගෙවා අවසන් කර තිබූ බැවිණි.
මහ ලේකම් ධූරය රිෆ්ඩි ෆාමිට
ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධූරය සදහා එහි හිටපු මහ ලේකම් රිෆ්ඩි ෆාමි වැඩි ඡන්ද හතරකින් තේරී පත් විය. එහිදී ඔහු ඡන්ද 17 ක් ලබන අතර ඊට ඉදිරිපත්ව සිටි සෙසු අපේක්ෂකයා වූ නිෂාන්ත පියසේන ඡන්ද 13 ක් ලැබීය.
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස මෙවර නිලවරණයට ඉදිරිපත් වූ රිෆ්ඩි ෆාමි, ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධූරයට මීට පෙර පත් වුයේ මැක්ෂ්වෙල් ද සිල්වා ගේ ඉවත් කිරීමෙන් පසුවය.
මේ අතර ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති ධූර හතරට සරත් හේවාවිතාරණ, ඉක්බාල් බින් ඉෂාක්, ප්‍රීති විරාජ් පෙරේරා හා නිලූ ජයතිලක වැඩි ඡන්දයෙන් තේරී පත් විය.
බින් ඉෂාක් හැරෙන්නට සෙසු අපේක්ෂකයෝ තිදෙනාම පැවැති විධායක සභාවේත් උප සභාපති ධූර දැරුවෝ වෙති.
උප ලේකම් ධූරයට අස්මිත සංජය ගුණරත්න වැඩි ඡන්ද හයකින් තේරී පත් විය.







