ආනොල්ඩ් ෂ්වෝට්සනෙගර් (Arnold Schwarzenegger) නමැති ලොව ජනප්‍රිය කායවර්ධකයා සහ හොලිවුඩ් නළුවාගේ අඩිපාරේ යාම
ඔහුගේ පුතා ආරම්භ කර තිබෙනවා.
28 හැවිරිදි ජෝසෆ් බේන් (Joseph Baene) සිය පියා අනුගමනය කිරීමට පටන් ගෙන තිබෙන්නේ ඔහුගේ මංගල කායවර්ධන තරගයේදී ම ඉහළම ශූරතා දිනා ගනිමින්. NPC Natural Colorado තරගාවලියේදී රන් පදක්කම් තුනක් හිමිකර ගැනීමට බේන් සමත් වුනා.
තම පියා සමග නිතර පුහුණු වන බේන් පසුගියදා පැවති මේ තරගාවලියේදී විවෘත කායවර්ධන අංශයේ Heavy Weight Class, Classic Physique True Novice සහ Classic Physique Novice ඉසව්වල පළමු ස්ථාන හිමිකර ගත්තා. මීට අමතරව මේ නැගී එන කායවර්ධන ශූරයා Classic Physique Open Class C ඉසව්වේ අනුශූරයා බවට පත්වුනා.

වේදිකාවේ සිටියදී ගත් ඡායාරූප සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ බෙදා ගෙන ඇති බේන්, ඔහු දිනා ගත් පදක්කම්වල තරග අංශ ලැයිස්තුව ද පෝස්ට් කර තිබෙන්නේ “මෙහෙයුම සාර්ථකව නිම කළා” (Mission Accomplished) යනුවෙන් සටහන් කරමින්.
පියාගේ වික්‍රමාන්විත ක්‍රියාවන් නැවත කිරීමට උත්සාහ කරන පුතෙකුගේ අලුත් ගමනක ආරම්භයයි මේ.
78 හැවිරිදි වියේ පසුවන ආනොල්ඩ් ෂ්වෝට්සනෙගර්, කායවර්ධන ඉතිහාසයේ ඉතාමත් වැදගත් රුවක් ලෙස සැලකෙන අතර ඔහුගේ උරුමය අනොල්ඩ් ක්ලැසික් වාර්ෂික තරගාවලියෙන් (Arnold Classic) සමරනු ලබනවා.
ආනොල්ඩ් ඔහුගේ කීර්තිමත් කායවර්ධන දිවිය තුළ කිහිප අවස්ථාවකම ‘ඔලිම්පියානු අයෝමය පුරුෂයා’ - Mr. Olympia - කිරුළ දිනා ගෙන ඇති අතර ආනොල්ඩ්ගේ නම වයස අවුරුදු 23දී ඉතිහාස පොත්වලට ඇතුළත් කළේ එහි පළමු ශූරතාවයි.
ආනොල්ඩ් ෂ්වෝට්සනෙගර්ගේ සාර්ථක ජයග්‍රහණ අතරේ ඔහු කිරුළු පැළඳූ ‘විශ්වයේ අයෝමය පුරුෂයා’- Mr. Universe - සහ ‘ලෝක අයෝමය පුරුෂයා’- Mr. World - යන ශූරතා ද තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







