2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය උතුරු අමෙරිකාව හරහා ආරම්භ වීමේ දිනය ළංවෙමින් තිබියදී
ඒ සඳහා අමෙරිකාව ට පැමිණීමට සැලසුම් කරගෙන සිටින පුද්ගලයින්ට බරපතල අනතුරු ඇඟවීමක් විවිධ සිවිල් සමාජ ක්‍රියාකාරී සංවිධාන හා පාපන්දු ලෝලී සමූහයන් 120කට වැඩි ප්‍රමාණයක් විසින් නිකුත් කර තිබෙනවා.
American Civil Liberties Union (ACLU), Amnesty International USA සහ Advancement of Colored People (NAACP) සඳහා වන ජාතික සංගමය සංචාරක උපදෙස් මාලාවක් නිකුත් කරමින් තරග නැරඹීම පිණිස අමෙරිකාවේ විවිධ නගර 11 ට යාමේදී ඉතාමත් පරෙස්සම් වන ලෙසටත්, අමෙරිකාවේ පිරිහෙමින් යන මානව අයිතීන්ගේ තත්ත්වය සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය, සත්කාරක නගර හෝ අමෙරිකානු රජයෙන් තේරුමක් ඇති ආරක්ෂක ක්‍රියාවක් හා ස්ථිර සහතික වීමක් නැතිකම හමුවේ තමන් සතුව හදිසි සැලැස්මක් තබා ගන්නා ලෙසටත් ක්‍රීඩා ලෝලීන්ට, ක්‍රීඩකයින්ට, මාධ්‍යවේදීන්ට හා අනෙකුත් සංචාරකයින්ට තදින් ආයාචනය කරනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 ජනවාරියේ ඔහුගේ දෙවැනි ධූර කාලය ආරම්භ කළ තැන් පටන් අමෙරිකානු ආගමන හා රේගු බලකාය (Immigration and Customs Enforcement – ICE) මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රබල ආගමන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සංචාරක උපදේශය විශේෂයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඔහුගේ ප්‍රතිපත්ති “සාහසික හා නින්දා සහගත” යැයි සඳහන් කරන එම උපදෙස් මාලාව, එහි ප්‍රතිඵලයක් ලෙස සංක්‍රමණික ප්‍රජාවන් හා නොයෙකුත් ජාතීන් සහ ජනවාර්ගික සුළු කණ්ඩායම් ට්‍රම්ප් පාලනය විසින් වැඩියෙන්ම සමානුපාතික නොවන ඉලක්කයන් බවට පත් කරගෙන තිබෙන බව පෙන්වා දෙනවා. ඒ නිසාවෙන්, අමෙරිකාව ට ඒමේදී සහ රට ඇතුළේ සංචාරය කිරීමේදී බරපතල හිංසාවන්ට වඩාත්ම ගොදුරු විය හැක්කේ මේ පුද්ගලයින් බව ද එම උපදේශයේ දක්වා තිබෙනවා. ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති හේතුවෙන් LGBTQ ප්‍රජාවට ඉතාමත්ම ඉහළ අවදානමක් තිබෙන බව උපදෙස් මාලාවෙන් අවධාරණය කර තිබෙනවා.
මේ අනතුරු ඇඟවීම නිකුත් වන්නේ ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසුව අමෙරිකාව පුරා සංක්‍රමණිකයින් රඳවා ගැනීමේ මධ්‍යස්ථාන පෙර නොවූ විරූ පරිදි වැඩි කර තිබියදී. මේ වන විට එවැනි මධ්‍යස්ථාන 220කට වැඩි ප්‍රමාණයක් පිහිටුවා තිබෙන අතර ඒවා තවත් වැඩි කිරීමට සැලසුම් කර තිබෙන්නේ විශේෂයෙන් සංක්‍රමණිකයන් රඳවා ගැනීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව ඊළඟ සිවු වසර තුළ වැඩි කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 45ක් ඇතුළුව ඩොලර් මිලියන 85ක මුදලක් ICE වෙත අලුතින් සපයා දී ඇති බැවින්. ඒ අනුව ICE අමෙරිකාවේ වැඩියෙන්ම ප්‍රතිපාදන ලබා දී තිබෙන නීති බලය ක්‍රියාත්මක කිරීමේ ඒජන්සිය බවට පත්ව තිබෙනවා. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරක්ෂාවේදී තමන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවට ICE මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
2025 ජනවාරියේ සිට අමෙරිකාව ICE රඳවා ගැනීම් 750,000කට වැඩියෙන් සිදුකර තිබෙන අතර මේ වසරේ ජනවාරි මාසය වන විට 72,000කට වැඩි දෙනෙක් මධ්‍යස්ථානවල තවමත් රඳවා ගෙන සිටින බව වාර්තා වනවා. මෙය ට්‍රම්ප් ජනාධිපති වීමට පෙර රැඳවුම් මධ්‍යස්ථානවල අල්ලාගෙන සිටි පුද්ගලයින් 40,000ක සංඛ්‍යාවේ සිට සියයට 75කට අධික ප්‍රමාණයක වැඩිවීමක්.
2025 වසරේ සිට මේ දක්වා 50කට වැඩි පුද්ගලයින් ICE සිරභාරයේ සිටියදී මිය ගොස් තිබෙන බව ද එම උපදේශන මාලාවෙන් පෙන්වා දී තිබෙනවා.
මුහුණෙහි රුවෙන් හඳුනා ගැනීම හා ඇඟිලි තුඩු සලකුණේ මුරපදය ඇතුළු පෞද්ගලික තොරතුරු තමන්ගේ ඉලෙක්ට්‍රෝනික උපක්‍රමවලින් ඉවත් කර ගන්නා ලෙසටත්, තමන් යන එන තැන් හා දිනයන් ඇතුළු සංචාරක සැලසුම් පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටින්නැයි තම ආදරණීයයන්ට අනතුරු අඟවන ලෙසටත් මෙම සමාජ ක්‍රියාකාරී සංවිධාන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා අමෙරිකාව ට එන පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට අවවාද කරනවා.
(සටහන : වර්නන් ගුණසේකර)'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







