leader s

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) කොංග්‍රසයට සහභාගි වීම පිණිස කැනඩාව ට ඇතුළු වීමට නිලධාරීන් අවසර දුන්නත් නැවත හැරී යාමට තමා තීරණය කළ බව ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහ්ඩි ටාජ් (Mehdi Taj) ප්‍රකාශ කර තිබෙනවා.

ටොරොන්ටෝ ගුවන් තොටුපලේදී පැය තුනක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව ආපසු හැරී යාමට ඉරාන නියෝජිත පිරිස තීරණය කළ බව ඉරාන මාධ්‍ය ඊයේ වාර්තා කළා.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවකාරී මුර බලකායේ (IRGC) හිටපු සාමාජිකයෙකු වන ටාජ්ගෙන් එම බලකාය සමග තිබූ සබඳකම් පිළිබඳව කැනේඩියානු ආගමන නිලධාරීන් ප්‍රශ්න කිරීම අවසන් වීමෙන් පසුව වැන්කුවර් හි පැවති පූර්ව-ලෝක කුසලාන පාපන්දු රැස්වීම වෙනුවෙන් රටට ඇතුළු වීමට ඔහුට ඉඩ දුන් බව වාර්තා වනවා. අමෙරිකාව හා මෙක්සිකෝව සමග සම සත්කාරකත්වය දරන කැනඩාව ට ඇතුළු වීම IRGC සාමාජිකයින්ට තහනම් කර ඇති බව කැනේඩියානු බලධාරීන් පවසා තිබෙනවා.

 

Tajමෙහ්ඩි ටාජ්
“අපි සියලු දෙනාටම වීසා තිබුණා. අපව තුර්කියේදී පරීක්ෂාවට පවා ලක් කළා. කැනඩාවේදී ඔවුන් කීවා අපෙන් අහන්න ප්‍රශ්න තියෙනවා කියලා. අපි IRGC සාමාජිකයන් ද කියලා ඔවුන් ඇසුවා” යනුවෙන් ටාජ් කියා තිබෙනවා.

“ඉරානයේ IRGC සාමාජිකයන් මිලියන 90ක් සිටින බව අපි ඔවුන්ට කීවා. මේ සංවිධානයේ පුද්ගලයන්ව අපි රටට ඇතුළු කර ගන්නේ නැහැ කියලා ඔවුන් පැවසුවා. එය ඔවුන්ගේ රටේ නීතිය බව කීවා.”

කැනඩාව 2024 වසරේදී IRGCය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසට නම් කළා.

“සෑහෙන වෙලාවකට පස්සේ ඔවුන් කීවා අපට රටට ඇතුළු වෙන්න පුළුවන් කියලා. නමුත් ආපහු හැරෙන්න අපි තීරණය කළා. ඔවුන් අපිව රටින් නෙරපා හැරියේ නැහැ. ආපහු හැරිලා  යන්න තීරණය කළේ අපිමයි. ඔවුන් අපව පැය තුනක් ගුවන් තොටුපලේ තබා ගත් බවත්, ඔවුන් අපව රඳවා ගෙන සිටීමෙන් කිසිම ඵලක් නොවූ බවත් මම ඔවුන්ට කීවා.”

නැවත තුර්කිය ට පැමිණි ඉරාන නියෝජිත පිරිස යළි කැනඩාව ට ගෙන්වා ගැනීම පිණිස ජෙට් යානයක් එවීමට FIFA සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ ඉදිරිපත් වූවත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බව ටාජ් අනාවරණය කළා.

FIFA මහ ලේකම් මෙටිඑස් ග්‍රෑෆ්ට්ස්රම් ට තමා මෙසේ පැවසූ බව ටාජ් කියා සිටියා: “අමෙරිකාව විසින් ඔබව බිය ගන්වා තිබෙනවා. ඔවුන් කියන ඔ්නෑම දෙයකට ඔබ ‘ඔව් සර්’ කියනවා.”

donald trump2

ඉරානය ඔවුන්ගේ ලෝක කුසලාන තරග අමෙරිකාවේ ක්‍රීඩා කරනු ඇතැයි ඉන්ෆන්ටීනෝ බ්‍රහස්පතින්දා නැවත වරක් ස්ථිරවම කියා සිටියා. ඔහු මේ බව පළ කළේ බටහිර කැනඩාවේ පැවති FIFA 76 වැනි කොංග්‍රසය ආරම්භ කරමින්. එයට ප්‍රතිචාර දැක්වූ ඔහුගේ සමීප මිතුරෙකු වන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට අදහස් දක්වමින්, “හොඳයි, ජියානි එහෙම කිවුවා නම්, මමත් එකඟවෙනවා” යනුවෙන් පවසා තිබෙනවා.

“ලෝක කුසලානය සඳහා අපි අමෙරිකාව ට එනවා නම්, අපට එහෙන් මෙහෙන් කිසිම ප්‍රශ්නයක් දාන්නේ නැති බවටත් අපේ කණ්ඩායමට කිසිම මතභේදාත්මක දෙයක් සිදු නොවන බවටත් තහවුරු කර ගන්න අපට FIFA නිලධාරීන් සමග සාකච්ඡාවක් අවශ්‍යයි” ටාජ් ප්‍රකාශ කරනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්