ලන්ඩන් මැරතන් තරගයේ සබෑස්ටියන් සාවේගේ (Sebastian Sawe) පැයයි මිනිත්තු 59යි තත්පර 30ක මවිත කරන ලෝක මැරතන්
වාර්තාව බලගැන්වී තිබුණේ සතියකට සැතපුම් 150ක් දිවීම, ඉතිහාසයේ වඩාත්ම සැහැල්ලු සුපිරි පාවහන් පැළඳීම හා තරගයට පෙර ගත් පාන් සහ පැණි උදේ ආහාරයෙන්.
ඇස්තමේන්තුගත 800,000ක සෙනඟක් එංගලන්තයේ අගනුවර බලා සිටියදී කෙන්යාවේ 31 හැවිරිදි සාවේ පැය දෙකට අඩු කාලයකින් නිල මැරතන් තරගයක් ධාවනය කළ ලොව පළමු මිනිසා බවට පත්වුණේ ලෝක වාර්තාව ද බිඳ දමමින්.
කිසිදා අමතක නොවන මොහොතක් තමා විසින් නිර්මාණය කර ඇති බව තමාට ක්ෂණිකව අවබෝධ වූ බව සාවේ තරගයෙන් පසුව කියා සිටියා. “මම අද ලන්ඩනයේදී ඉතිහාසය අලුතින් ලියා තිබෙනවා. මට කරන්න බැරි දෙයක් නැහැ කියලා මම පෙන්වා තිබෙනවා. මෙය මගේ සිතේ සැමදා රැඳී තිබෙන දෙයක් වේවි” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.
සාවේ විසින් මකා දමනු ලැබුවේ නැසීගිය කෙල්වින් කිප්ටම් 2023 වසරේ චිකාගෝ මැරතන් තරගයේදී පිහිටුවා තිබූ පැය 2යි තත්පර 35ක ලෝක වාර්තාව. ඒ අනුව සාවේ තත්පර 65කින් වඩා වේගවත් වී තිබෙනවා.
කෙන්යාවේ ඇලියඩ් කිප්චොගේ 2019 වසරේ ඔක්තෝබරයේදී පැයයි මිනිත්තු 59යි තත්පර 40ක කාලයක් සටහන් කරමින් ලේඛනගත ඉතිහාසයේ පැය දෙකකට අඩුවෙන් මැරතන් තරගයක් සම්පූර්ණ කළ පළමු පුද්ගලයා බවට පත්වුණා. එහෙත් එම කාලය ලෝක වාර්තාවක් ලෙසින් අනුමත නොකෙරුනේ ඔහු විශේෂිත පාවහන් පැළඳ ධාවනයේ යෙදීම හා සම්මත තරග නීති අනුගමනය නොකිරීම හේතුවෙන්. ඊටත්, එය විවෘත තරගයක් වී තිබුනේත් නැහැ.
සබෑස්ටියන් සාවේ තරග වැදුනේ ග්‍රෑම්ස් 100 ට වඩා බරින් අඩු අඩිඩාස් හි අලුත්ම Pro Evo 3 සුපර් පාවහන් පැළඳගෙන.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







