ඉන්දියා ප්‍රිමිය ලීගය (IPL) පැවැත්වෙන කාලය තුළ ක්‍රීඩකයින් ඔවුන්ගේ පෙම්වතියන් ඇසුරු කිරීම තහනම් කිරීම සඳහා
නව නීති ක්‍රියාත්මක කිරීමට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.
2026 IPL තරගාවලිය අතරතුරේදී එක්තරා ක්‍රීඩකයින් පිරිසක් ඔවුන්‌ගේ පෙම්වතියන් සමග ප්‍රසිද්ධියේ පෙනී සිටීම පිළිබඳව ඉන්දියා ක්‍රිකට් බලධාරීන් අසතුටට පත්ව සිටින බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරනවා. හාඩික් පාන්ඩ්‍යා, යශාස්වි ජයිස්වාල්, ඉෂාන් කිශාන් හා ආශ්ඩීප් සිං යන ක්‍රීඩකයින්ගේ පෙම්වතියන් බවට ඕපාදූප පැතිර තිබෙන යුවතියන් ඔවුන් සමග කණ්ඩායම් බස් රථවල ගමන් කරන අයුරු සහ තරගාවලිය පැවැත්වෙන කාලය තුළ කණ්ඩායම් නතරව සිටින හෝටලවල නැවතී සිටින අයුරු නිරන්තරයෙන් දැක තිබෙනවා. ඒ නිසාවෙන්, මේ ‘පෙම්වතියන්ගේ සංස්කෘතිය’ තරගාවලියේදී තහනම් කිරීමට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය නීති කෙටුම් පත් සකස් කරමින් සිටින්නේ මේ ප්‍රවණතාව දිගටම පැවතුනොත් විශාල ප්‍රශ්නයක් උද්ගත වනු ඇතැයි යන බියෙන්.
එක් මාධ්‍ය වාර්තාවකට අනුව, BCCI සැලකිලිමත්ව සිටින්නේ සමහර පෙම්වතියන්ට තිබෙන ‘බලපෑමක් ඇති කිරීමේ’ තත්ත්වය ගැනයි. මේ සමහරු මීට කලින් සමාජ මාධ්‍යවල ඔට්ටු ඇල්ලීමේ යෙදුම් (Apps) ප්‍රවර්ධනය කර තිබෙන බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මෑත වසරවලදී, එක්තරා ක්‍රීඩකයින් හා ඔවුන්ගේ පෙම්වතියන් අතර ආරවුල් ද හටගෙන තිබෙනවා. මේ සමහර අවස්ථාවලදී පෙම්වතියන් විසින් පොලිසියේ පැමිණිලි ද ගොනුකර තිබෙන්නේ IPL මෙන්ම BCCI හි ප්‍රතිරූපය ද කෙලසමින්.
“මේක දැන්ම නතර කළේ නැත්නම්, එයින් අනාගතයේදී විශාල ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. පෙම්වතියන් එනතුරු කණ්ඩායම් බස් රථ නතර කරගෙන සිටින අවස්ථා අපට පෙනිලා තියෙනවා. ඔවුන් ඉන්නේත් ක්‍රීඩකයින් නැවතී ඉන්න හෝටල්වලමයි” BCCI උසස් නිලධාරියෙක් ප්‍රකාශ කරනවා.
මේ පෙම්වතියන් ‘නිල වශයෙන් නිවේදනය කර තිබෙන’ තමන්ගේ සහකාරියන් බවට පැවසීමෙන් පසුව එම පෙම්වතියන්ට ක්‍රීඩකයින් සමග රැඳී සිටීමට දූෂණ විරෝධී අංශයේ සමහර නිලධාරීන් අවසර දී තිබෙන බව ද එම නිලධාරියා අනාවරණය කර තිබෙනවා.
“මේ ‘නිල පෙම්වතිය’ගේ නීතිය එන්නේ කොහෙන්දැයි මම දන්නේ නැහැ. BCCI හි විධිමත් ප්‍රතිපත්තියේ එවැනි කොන්දේසියක් නැහැ. විශේෂිත නිර්ණායකයන් යටතේ අපි ඉඩ දෙන්නේ බිරින්දෑවරුන්ට හා පවුලේ සාමාජිකයින්ට පමණයි. මේ කියන නීතියට අනුමැතිය දුන්නේ කවුද කියා අපි සොයා බැලිය යුතුයි” එම නිලධාරියා වැඩිදුරටත් කියා තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







