ලෝක කුසලාන පාපන්දු තරග ඉන්දියාවේ විකාශය නොකිරීමේ ප්‍රශ්නය දැන් අධිකරණය දක්වා දුරදිග ගොස් තිබෙනවා.
ඉන්දියාවේ තරග විකාශනය කිරීමේ අයිතීන් සම්බන්ධයෙන් වන සාකච්ඡා ඇණහිට තිබෙන්නේ තව මාසයකටත් අඩු කාලයකින් ඇරඹෙන පාපන්දුවේ ලොකුම මංගල්‍යය නැරඹීමට තමන්ට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි යන බිය ඉන්දීය පාපන්දු ක්‍රීඩා ලෝලීන් තුළ ඇති කරමින්.
ලෝක කුසලාන පාපන්දු තරගවල සජීවී විකාශය ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනු කර තිබෙන පෙත්සමට ප්‍රතිචාර දක්වන ලෙසට දිල්ලි මහාධිකරණය විසින් ඉන්දියා රජයට සහ මහජන විකාශන ආයතනය වන ප්‍රසාර් භාර්ති (Prasar Bharti) වෙත දන්වා තිබෙනවා.

2026 හා ලබන 2030 ලෝක කුසලාන තරගාවලියන් විකාශනය කිරීමේ උවමනාවෙන් සිටින රූපවාහිනී විකාශකයන්ගෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) ඩොලර් මිලියන 100ක් පමණ ඉල්ලා තිබෙන අතර මේ දක්වා ඉන්දියාවේ විශාලතම මාධ්‍ය ආයතනය වන JioStar යෝජනා කර තිබෙන්නේ ඩොලර් මිලියන 20ක මුදලක් පමණක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
චීනය හා තායිලන්තය ද ලෝක කුසලාන තරග ඒ රටවල විකාශනය කිරීම සඳහා තවමත් ගිවිසුම්වලට පිවිස නැහැ.
තරග විකාශනය කිරීම සඳහා සැලසුමක් නොතිබීමෙන් රටවැසියන්ට තොරතුරු දැනගැනීමට තිබෙන මූලික අයිතිය අහිමි කර තිබෙන බවට උසාවියට ඉදිරිපත් කර ඇති පෙත්සමෙන් තර්ක කරනවා.
“මේ තරග විකාශනයක් නැති ප්‍රධාන වෙළඳ පොලවල් ස්වල්පයෙන් එකක් බවට ඉන්දියාව පත්ව තිබෙනවා” යනුවෙන් පෙත්සම සඳහන් කරන්නේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජාතික වැදගත්කමක් ඇති ක්‍රීඩා ඉසව්වක් බවට නම් කර තිබියදීත් එම තරග නැරඹීම පිණිස ගිවිසුමක් ස්ථීර කරගෙන නැති බව පෙන්වා දෙමින්.
“කාලෝචිත අධිකරණ මැදිහත්වීමක් නැතිව...පෙත්සම්කරු හා මිලියන ගණන් ඉන්දියානු පුරවැසියන්ට ඔවුන්ගේ මූලික අයිතීන් පිරිමැසිය නොහැකි පරිදි අහිමි කර තිබෙන්නේ පිළිගතහැකි විකල්පීය පිළියමක් නැතිවයි” පෙත්සමෙන් කියා තිබෙනවා.
ඊළඟට නඩුව ඇසෙන්නේ මැයි 20 වැනිදා. 2026 ලෝක කුසලා පාපන්දු තරගාවලිය ආරම්භ වන්නේ ජූනි 11 වැනිදා.
ආසියාවේ තරග විකාශන ආයතන ඒ සඳහා අයිතීන් ඉල්ලි සිටීමේදී පරෙස්සම් වී තිබෙන්නේ ආසියානු කලාපයේ වේලාවෙන් මධ්‍යම රාත්‍රියේ තරග ඇරඹෙන බැවින් නරඹන්නන්ගේ සංඛ්‍යාව හා දැන්වීම් ආදායම අඩු වන බව සඳහන් කරමින්.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
සබැඳි ලිපියක් :
ඉන්දියා සහ චීන පාපන්දු ලෝලීන්ට ලෝක කුසලාන තරග නැරඹීමේ වරම් නොලැබේවිද?







