ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන ඉරාන කණ්ඩායමට අමෙරිකාව ට ඇතුළු වීම සඳහා බහු-වීසා (multiple-entry) පහසුකම් සැලසීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) කටයුතු කරනු ඇතැයි ඉරානයේ පාපන්දු සම්මේලනය අපේක්ෂා කරනවා.
ඉරාන ක්‍රීඩකයින්ට අමෙරිකාව ට ඇතුළු වී ආපසු මෙක්සිකෝව ට පැමිණීමට හැකිවන පරිදි FIFA විසින් බහු-වීසා ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහ්ඩි ටාජ් ප්‍රකාශ කරනවා.
Team Melli ලෙසින් හැඳින්වෙන ඉරාන ජාතික පාපන්දු සංචිතය මුලින් සැලසුම් කර තිබුණේ අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ටූසාන් නගරය ඔවුන්ගේ ලෝක කුසලාන කඳවුර කර ගැනීමටයි. නමුත් පසුව එම අදහස වෙනස් කළ ඔවුන්, සිය පුහුණු කඳවුර මෙක්සිකෝවේ ටිඅවානා නගරයට වෙනස් කළා.
මෙහ්ඩි ටාජ්
මේ වෙනස් කිරීම සිදු කළේ අමෙරිකානු වීසා ලබා ගැනීමේදී තිබෙන අවුල් සහිත තත්ත්වයන් වළක්වා ගැනීමට හා ඉරාන ගුවන්යානා මගින් කණ්ඩායමට කෙළින්ම අමෙරිකාව ට යාමට හැකිවීම පිණිස බව ටාජ් කියා තිබෙනවා.
ඉරානය ඔවුන්ගේ සියලුම මූලික තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ අමෙරිකාවේ.
මේ අතර, ඉරානයේ සුපිරි ආක්‍රමණශීලී ක්‍රීඩකයා වන සාර්දාර් අස්මෝන්ගේ (Sardar Azmoun) තත්ත්වය පිළිබඳව තමා කිසිවක් නොදන්නා බව ටාජ් පවසනවා. ඉරාන කණ්ඩායමේ කළමනාකරු විසින් මුලින් සකස් කරන ලද සංචිතයෙන් මේ ක්‍රීඩකයාව කපා හැර තිබුණා.
සාර්දාර් අස්මෝන්
ඉරානය වෙනුවෙන් ගෝල් 57ක් ලබා ගෙන ඇති Bayer Leverkusen (ජර්මනිය) හා AS Roma (ඉතාලිය) පාපන්දු සමාජ ක්‍රීඩක අස්මෝන් මීට පෙර රාජ්‍ය-විරෝධී උද්ඝෝෂණවලට සහයෝගය දක්වා තිබෙනවා.
ඔහු වර්තමානයේ ක්‍රීඩා කරමින් පදිංචිව සිටින ඩුබායි රාජ්‍යයේ පාලකයා සමග ඡායාරූපයකට පෙනී සිටීම නිසා ඉරාන රාජ්‍ය මාධ්‍යවල විවේචනයට ලක්වූ අතර රටට ද්‍රෝහීවීමේ චෝදනා ද ඔහුට එල්ල වුණා.
අස්මෝන් නැවත ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගන්නා ලෙසට ඉරාන උපසභාපතිවරයෙක් පසුගිය සඳුදා ඉල්ලා සිටියා.
තමාට තවත් රටකින් ලැබුණු ඉතාමත් විශාල මුදල්මය යෝජනාවක් තමා ප්‍රතික්ෂේප කළ බවත් තමා ‘ඉරානයේ පුත්‍රයෙක්’ බවත් අස්මෝන් මෑතකදී ඉන්ස්ටග්‍රෑම් පෝස්ටුවකින් ප්‍රකාශ කර තිබුණා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







