ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට තව දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී නිවේදනයක් නිකුත් කරන ටොරොන්ටෝ පොලිසිය, ඔවුන් කැනේඩියානු ඉතිහාසයේ විශාලතම ව්‍යාජ පාපන්දු කමිස තොගය අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කරනවා.
මිසිසාගා නගරයේ බඩු ගබඩාවක තිබී අත්අඩංගුවට ගත් මේ ව්‍යාජ වෙළඳ භාණ්ඩවල වටිනාකම කැනඩා ඩොලර් මිලියන 3.5ක් (අමෙරිකානු ඩොලර් මිලියන 2.53) පමණ වනවා. මේ භාණ්ඩ අතර FIFA, Nike, Adidas හා Puma හොර ලාංජන සහිත වංචනික ජර්සි හා කොඩි 16,000කට වැඩි ප්‍රමාණයක් මෙන්ම ව්‍යාජ ලෝක පාපන්දු කුසලාන දෙකක් ද තිබූ බව පොලිසිය කියනවා.
මේ සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොස්නියාව ට එරෙහිව ජූනි 12 වැනිදා පැවැත්වෙන කැනඩාවේ ආරම්භක තරගය ද ඇතුළුව නගරයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරග හය වෙනුවෙන් 300,000කට අධික සංචාරකයින්ගේ පැමිණීමක් ටොරොන්ටෝ නගරය අපේක්ෂා කරනවා.
චූදිතයන් මේ නිෂ්පාදන සිල්ලර සාප්පුවලට සපයමින් වංචනික වෙළඳ භාණ්ඩවල බෙදා හරින්නකු ලෙස ක්‍රියා කරන බවට ටොරොන්ටෝ පොලිස් සේවයේ FIFA සැලසුම් කණ්ඩායමේ පරීක්ෂණ අංශයට පැමිණිල්ලක් ලැබී තිබුණා.
මේ භාණ්ඩවලට කැනඩා ඩොලර් 3,564,000ක වීදි වටිනාකමක් තිබෙන බව පොලිසිය පවසනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







