leader s

1966 වසරේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති අවසාන තරගය ජය ගැනීමෙන් පසුව නැවත වරක් අමරණීය තත්ත්වයට පත්වීමේ යෝධ පියවරක් තැබීමට අවස්ථාවක් උදා කරගෙන සිටින එංගලන්තය ඔවුන්ගේ ලොකුම තරගය සඳහා අද රාත්‍රියේ (හෙට අලුයම 12.30) ආජන්ටිනාව ට එරෙහිව 2026 ලෝක කුසලාන පාපන්දුවේ අවසන් පූර්ව තරගයට පිවිසෙනවා.


වෙම්බ්ලි ජයග්‍රහණයෙන් පසුව ගතවූ දශක හයක කාලය තුළ එංගලන්ත කණ්ඩායම 1990 වසරේ ඉතාලියේදී හා ඉන්පසුව මීට වසර අටකට පෙර රුසියාවේදී ලෝක කුසලාන අවසන් පූර්ව තරග දෙකකට පිවිසිය ද, මෙවර අලුත්ම අවසන් පූර්ව තරගය විසින් පැරණි ප්‍රතිවාදිත්වය නැවත තරග බිමට ගෙන එන්නේ ඉතිහාසය හා මතභේදාත්මක සිදුවීම්වල ස්තරයන් ද එක් කරමින්.

එංගලන්තය පසුගිය යුරෝපීය ශූරතා අවසන් තරග දෙක ම පරාජය වී සිටිය ද, ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේ වහලය යටදී වසර 60කට පසුව පළමු ලෝක කුසලාන අවසාන තරගයකට සුදුසුකම් ලබමින් පුරාවෘත්තයන් ලෙසින් සිය නාමයන් සටහන් කිරීමේ අවස්ථාවක් දැන් එංගලන්ත ක්‍රීඩකයින්ට ලැබී තිබෙනවා.

එංගලන්තය හා ආජන්ටිනාව ට තිබෙන්නේ පරම්පරා ගණනාවක් ආපසු යන පාපන්දු ප්‍රතිවාදිත්වයක්. 1962 වසරේදී ඇරඹුනු ඒ ලෝක කුසලාන ප්‍රතිවාදිත්වයට එදා සිට විස්මිත ගෝල්, මතභේදයන් හා රතු කාඩ්පත් අඩංගු වී තිබෙනවා.

මේ කණ්ඩායම්‌ දෙක අතර මීට පෙර පැවති ලෝක කුසලාන තරග පහේදී පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්තය. නමුත් ඔවුන් වැදගත් තරගයක් දිනා ගෙන දැන් බොහෝ කලක් ගතව තිබෙනවා. දෙපිල අවසන් වරට ලෝක කුසලාන තරගයක මුණගැසුනේ 2002 වසරේ.

*1962 තරගාවලියේදී එංගලන්තය ගෝල් 3-1කින් ආජන්ටිනාව පරාජය කළා. කණ්ඩායම් දෙක ම ඔවුන්ගේ මූලික වටය අවසන් කළේ ජයග්‍රහණයක් හා පරාජයකින්. එහෙත් එංගලන්තය සුපිරි ගෝල් වෙනසකින් ආජන්ටිනාව අභිභවමින් තරගාවලියේ ඉදිරියට ගියා. අනතුරුව අර්ධ අවසන් පූර්ව තරගයේදී බ්‍රසීලය විසින් එංගලන්තය පරාජය කරනු ලැබුවා.

*එංගලන්තය හා ආජන්ටිනාව අතර ප්‍රතිවාදිත්වය හට ගත්තේ 1966 තරගාවලියේදී එංගලන්තය ගෝල් 1-0කින් ජයග්‍රහණය කළ තරගයේ.
දෙපිල මුණගැසුනු අර්ධ අවසන් පූර්ව ගැටුමේදී එංගලන්තය තමන්ගෙන් ජයග්‍රහණය උදුරා ගත් බව ආජන්ටිනාව අදටත් ස්ථිරවම කියා සිටින්නේ එදා Geoff Hurst වාර්තා කළ ජයග්‍රාහී ගෝලය ඔෆ්සයිඩ් (offside) ලෙස හඳුන්වමින්.

කෙසේ වෙතත් මතභේදය අතින් මෙය, යටින් වූ විශාල අර්බුදකාරී තත්ත්වයක මතුපිටින් පෙනෙන සුළු කොටස පමණක් වුණේ මිනිත්තු 33ක ක්‍රීඩාවකින් පසුව ආජන්ටිනා නායක Antonio Rattin මිනිත්තු තුනක් ඇතුළත වැරදි‌ දෙකක් මත පිටියෙන් නෙරපා දැමුණු බැවින්. පිටියෙන් ඉවත්ව යාම Rattin ප්‍රතික්ෂේප කළ බැවින් තරගයේ මිනිත්තු අටක් පමණ නාස්ති වුණා.

ඉන්පසුව දැඩි කෝපයකින් යුතුව පැවති තරගය දරාගෙන සිටීමට එංගලන්තය ට සිදුවූ අතර ආජන්ටිනා කණ්ඩායම තිරිසනුන් බව හැඳින්වූ එංගලන්ත කළමනාකරු, තරගයෙන් පසුව ප්‍රතිවාදී ක්‍රීඩකයින් සමග කමිස හුවමාරු නොකරන ලෙසට ඔහුගේ ක්‍රීඩකයින්ට කියා සිටියා.

කහ සහ රතු කාඩ්පත් හඳුන්වා දීමට මේ තරගය මුල්වූ බව විශ්වාස කෙරෙනවා. ඒවා පළමු වරට භාවිතා කෙරුනේ මෙක්සිකෝවේ පැවති 1970 ලෝක කුසලාන තරගාවලියේ. ඊට කළින් පිටියේ තරග විනිසුරුවන්ට සිදුව තිබුණේ වාචිකව අනතුරු ඇඟවීම් කෙරෙහි විශ්වාසය තැබීමටයි.

*ආජන්ටිනාව ගෝල් 2-1කින් එංගලන්තය පැරදවූ 1986 ලෝක කුසලාන තරගය ප්‍රසිද්ධ වී තිබෙන්නේ ‘දේව හස්තය’ ලෙසින්.

මේ අර්ධ අවසන් පූර්ව තරගය ක්‍රීඩා කෙරුනේ මේ රටවල් දෙක ෆෝක්ලන්ඩ් යුද්ධයේ සටන් කර සිවු වසරක් පමණක් ගෙවී ගොස් තිබියදී. මෙය පාපන්දුවේ ප්‍රතිවාදිත්වය පමණක් නොව ඉතාමත් වැඩි දේශපාලන උණුසුමකින් ද යුත් තරගයක් බවට පත්වුණේ රටවල් දෙකේ ම මාධ්‍ය හා මහජනතාව යුද්ධය පිළිබඳව ඔවුන් තුළ තිබූ අප්‍රසාදය පිට කිරීමට එය යොදා ගත් බැවින්.

ආජන්ටිනා අංක 10 ක්‍රීඩක ඩිඑගෝ මැරඩෝනා එංගලන්ත ගෝල් රකින පීටර් ෂිල්ටන් සමග පන්දුවට උඩ පනිද්දී මැරඩෝනා පන්දුවට අතින් ගසා එය දැල තුළට යැවුවා. එකල අද මෙන් VAR ක්‍රමවේදය තිබුණේ නැහැ.

ඉක්බිති මැරඩෝනා, එංගලන්ත කණ්ඩායමෙන් අඩක් පමණ පරදවා පන්දුව ගෙනැවිත් අවසානයේ ෂිල්ටන් වටා ගොස් ගෝලයක් වාර්තා කළ අතර එය එදා මෙදා තුර ශ්‍රේෂ්ඨතම ලෝක කුසලාන ගෝලය ලෙසින් සැලකෙනවා.

‘දේව හස්තය’ ගෝලය සම්බන්ධයෙන් ෂිල්ටන්ගෙන් සමාව ඉල්ලා සිටීමට මැරඩෝනා 2005 වසර දක්වා ප්‍රමාද වූ අතර සමාව දීම ෂිල්ටන් ප්‍රතික්ෂේප කළා.


එංගලන්තය ට සිදුවූ මේ තුවාලයට ලුණු එකතු කරමින් ආජන්ටිනාව තරගාවලියේ අවසාන තරගයට පිවිස එහිදී බටහිර ජර්මනිය පරාජය කර ලෝක කුසලානය හිමිකර ගත්තා.

*නියමිත කාලය අවසානයේ ගෝල් 2-2 සම තත්ත්වයෙන් සිටීමෙන් පසුව පැවති පෙනල්ටි ප්‍රහාරයෙන් ආජන්ටිනාව 4-3කින් ජය ගත් 1998 අවසාන කණ්ඩායම් 16 වටයේ තරගය එංගලන්තයේ ඩේවිඩ් බෙකම් ට අමතක නොවන තරගයක්. ආජන්ටිනාවේ Diego Simeone ක්‍රීඩකයාට පයින් ගැසීම හේතුවෙන් බෙකම් ට රතු කාඩ්පත නිකුත් කෙරුනා.

*ආජන්ටිනාව 0-1කින් පරාජය කළ 2002 ලෝක කුසලාන මූලික වට තරගය බෙකම් ට වරද නිවරද කර ගැනීම සඳහා ලැබුණු අවස්ථාවක් ලෙස මතකයේ රැඳී තිබෙනු ඇත්තේ එංගලන්ත නායකයා පෙනල්ටි ස්ථානයේ සිට තරගයේ එකම ගෝලය ලබා ගත් බැවින්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්