leader s

අඛණ්ඩව තෙවැනි වරටත් අවසන් මහා තරගයට පිවිසි ශ්‍රී ලංකාවට අනුශූරතාව


ඩුබායි පිටියේදී වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කළ ශෆාලි - මන්දනා සුසංයෝගය ඉන්දීය ජය තහවුරු කරයි


ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති 2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72කින් පරාජයට පත් කරමින් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම ඊයේ (13) සමත් විය.

මෙය ඉන්දීය කාන්තා කණ්ඩායම විස්සයි20 ආකෘතිය යටතේ දිනාගත් සිව්වැනි ආසියානු කුසලාන ශූරතාව වන අතර, එක්දින තරගාවලි ඉතිහාසයද ඇතුළත්ව ඔවුන් හිමිකරගත් සමස්ත 8 වැනි ආසියානු ක්‍රිකට් කිරුළයි.

ආරම්භක පිතිකාරිණියන්ගෙන් වාර්තාගත ලකුණු සබඳතාවක්

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායිකා හර්මන්ප්‍රීට් කෞර් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළාය. ඒ අනුව පිටියට පිවිසි ශෆාලි වර්මා සහ උපනායිකා ස්මෘති මන්දනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 78කදී ලකුණු 129ක සබඳතාවක් ගොඩනැගූහ. මෙය කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම ලකුණු සබඳතාව ලෙස වාර්තා අතරට එක්විය.

 

mandana 293
ඉනිමේ වේගය ඉහළ නැංවූ 22 හැවිරිදි ශෆාලි වර්මා පන්දු 24කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර, එය කාන්තා ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකයයි. ඇය පන්දු 39කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 68ක් රැස් කළාය. අනෙක් අන්තයෙන් අනගි සහයක් ලබාදුන් ස්මෘති මන්දනා පන්දු 39කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 59ක් ලබා ගත්තාය.

ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක් රැස් කළ අතර, එය කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයක කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නායිකා චමරි අතපත්තු, මිතිලී අයෝධ්‍යා සහ චමුදි ප්‍රබෝදා එක් කඩුල්ල බැගින් දවාලූහ.

chamari 349

 

ඉලක්කය හමුවේ ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය සිරවෙයි

ලකුණු 184ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 4ක්ව තිබියදී බිඳවැටුණි. ඉන් අනතුරුව නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 58ක සබඳතාවක් ගොඩනගමින් තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළද, මැදපෙළ කඩුලු අඛණ්ඩව බිඳවැටීම ශ්‍රී ලංකා ඉනිමට දැඩි පීඩනයක් එල්ල කළේය.

නායිකා චමරි අතපත්තු පන්දු 32කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 36ක් රැස් කළ අතර, නිලක්ෂිකා සිල්වා ලකුණු 22ක්ද, විශ්මි ගුණරත්න ලකුණු 20ක්ද ලබා ගත්හ. ඉන්දීය පන්දු යැවීම හමුවේ පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 111ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී චරණි ලකුණු 20කට කඩුලු 4ක් සහ දීප්ති ෂර්මා ලකුණු 19කට කඩුලු 3ක් දවාලමින් ඉන්දීය ජයග්‍රහණය තහවුරු කළහ.

 

shree0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිබිදීමේ සුවිශේෂී සන්ධිස්ථානයක්

අවසන් තරගයේ ප්‍රතිඵලය පරාජයක් වුවද, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අඛණ්ඩව තෙවැනි වරටත් ආසියානු කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබීම මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ථාවර ප්‍රගතිය විදහාපාන්නකි. 2022 වසරේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකාව, 2024 වසරේදී ඉතිහාසයේ පළමු වරට ආසියානු කිරුළ දිනාගැනීමට සමත් විය.

මෙවර තරගාවලියේදී මූලික වටයේ 'බී' කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම, එහිදී පාකිස්තානය පරදවා අවසන් තරගයට පිවිසියේය. ජාත්‍යන්තර තලයේ ප්‍රබල කණ්ඩායම් හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැක්වූ මෙම දක්ෂතා ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සඳහා කණ්ඩායම සතු ශක්තිය සහ සූදානම මැනවින් තහවුරු කරයි.

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්