leader s

ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවන විශාලතම සූර්ය බලශක්ති උද්‍යාන ව්‍යාපෘතිය වන මෙමගින් 2026 වසරේදී ජාතික පද්ධතියට සිය පළමු දායකත්වය ලබාදීමට නියමිතය.


සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ මහවැලි අධිකාරිය මගින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද පුනර්ජනනීය බලශක්ති උද්‍යානයක ඉදිවන මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන, විදේශීය සෘජු ආයෝජන (FDI), දේශීය බැංකු ණය සහ කොටස් ප්‍රාග්ධනය මගින් දැනටමත් සපයාගෙන තිබීම විශේෂත්වයකි.

ඩොලර් මිලියන 150ක පුද්ගලික අංශයේ ආයෝජන ව්‍යාපෘතියක්

සමස්ත ව්‍යාපෘතියේ ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 150ක් වන අතර, මෙය පුද්ගලික අංශයේ ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකවේ.

මෙගාවොට් 150 ක ධාරිතාවයකින් යුත් මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඉතිහාසයේ මෙතෙක් ඉදිවූ විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අතර වික්ටෝරියා (මෙගාවොට් 210) සහ ඉහළ කොත්මලේ (මෙගාවොට් 150) ජල විදුලි බලාගාරවලට පමණක් දෙවැනි වන දැවැන්ත පියවරකි.

වාර්ෂිකව නියං කාලසීමාවන්හිදී දකුණු පළාත මුහුණ දෙන විදුලි කප්පාදුවට තිරසාර විසඳුමක් ලෙස ඉදිරිපත් වන මෙම ව්‍යාපෘතිය මගින් දිවා කාලයේදී මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 20% ක් සපුරාලීමට අපේක්ෂිතය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික ජනන සැලැසුම අනුව 2026-2027 වර්ෂයන්හිදී බලගැන්වීමට නියමිත මෙම දැවැන්ත ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ නීතිමය රාමුව යටතේ අවශ්‍ය සියලුම බලපත්‍ර සහ අනුමැතීන් ලබාගත් ව්‍යාපෘතියක් බව 2025 පෙබරවාරි මාසයේදී හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුව විසින් නිල වශයෙන් තහවුරු කරන ලදී.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ලංකා විදුලිබල මණ්ඩලය වෙත අභියාචනාධිකරණය ලබාදුන් ඓතිහාසික තීන්දුවකට අනුව, මෙරට බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර මේ වන විට  ඒ සදහා අවශ්‍ය භූමිය සකස් කිරීම සහ සීමා ඉදිකිරීම ඇතුළු මූලික මෙහෙයුම් කටයුතු සාර්ථකව අවසන් කර ඇත.

ප්‍රදේශයේ නිපුණ ශ්‍රමිකයන්, කොන්ත්‍රාත්කරුවන්, කාර්මික ශිල්පීන් සහ ඉංජිනේරුවරුන් සඳහා රැකියා අවස්ථා රාශියක් විවෘත කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනයටද විශාල දායකත්වයක් හිමිවන අතර වල් අලින් ගම්වැදීම වැළැක්වීම සඳහා සංවේදී භූමි ප්‍රදේශ විධිමත් ලෙස කළමනාකරණය කරමින් අලි ඇතුන් ජාතික උද්‍යාන කරා යොමු කිරීමටද මෙමගින් පරිසර හිතකාමී විසඳුමක් ලැබී ඇත.

හරිත බලශක්තියෙන් යුතු ශ්‍රී ලංකාවක් සදහා වූ මෙම ඉදිරිගාමී පියවර මෙරට සංවර්ධනය සදහා නව දිශානතියක් පෙන්වා දෙනු ඇතැයි විදුලි බල අමාත්‍යංශය කියා සිටියි.

(සටහන | ජේ. මුණසිංහ)

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්