රටේ ආර්ථිකයේ කොඳු නාරටිය ශක්තිමත් කෙරෙන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් බැංකු ණයක් ලබා ගැනීමට යාමේදී
මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන ඇප සුරැකුම් සඳහා රජය මැදිහත්වී ඒවා ලබාදීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව වසර 2025දී පමණක් ව්‍යවසායකයින් 1,234 දෙනෙකුට රුපියල් මිලියන 5,099ක ඇප ආවරණ ලබා දී ඇති අතර, 2026 වසරේදී රුපියල් මිලියන 7,000ක සුරැකුම් පහසුකම් සැලසීමට සැලසුම් කර ඇතැයි මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ග්‍රාමීය මට්ටමේ කුඩා ව්‍යාපාරවල සිට විදේශ විනිමය උපයන මහා පරිමාණ ව්‍යවසායන් දක්වා විහිදෙන මෙම ක්ෂේත්‍රය නඟාසිටුවීම වත්මන් රජයේ ප්‍රධානතම ආර්ථික ඉලක්කයකි.
ශ්‍රී ලංකාවේ ව්‍යවසායන්ගෙන් 2/3ක් නියෝජනය කරන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය, රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සහ සේවා නියුක්තියෙන් හරි අඩකට වඩා වැඩි දායකත්වයක් ලබා දෙයි.
ව්‍යවසායකයන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ ව්‍යාපාර මූල්‍යනය සඳහා අවශ්‍ය ඇප සුරැකුම් (Collateral) ඉදිරිපත් කිරීමට නොහැකි වීමයි. මේ සඳහා පිළියමක් ලෙස රජය විසින් සී/ස ජාතික ණය සුරැකුම් ආයතනය ස්ථාපිත කර ඇති අතර, එමඟින් බැංකු වෙත අවශ්‍ය ඇප සුරැකුම් රජය මැදිහත්වී ලබා දෙයි.
2026 වසරේ අයවැය මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා රුපියල් මිලියන 95,500කට අධික මූල්‍ය ප්‍රතිපාදනයක් වෙන් කර ඇති අතර, මෙය පෙර වසරට වඩා 65%ක පමණ කැපී පෙනෙන ඉහළ යාමකි. මෙම සියලු ණය යෝජනාක්‍රම වඩාත් විධිමත් කිරීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව යටතේ ඒකරාශී කර ඇත.
Re-MSME Plus ණය යෝජනාක්‍රමය යටතේ 5%ක අවම පොලී අනුපාතයකට, උපරිම රුපියල් මිලියන 25ක් දක්වා ණය ලබාගත හැක.
විස්තීරණ ආපදා සහන ණය යෝජනා ක්‍රමය යටතේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා 3%ක සහන පොලියට ලබාදෙන මෙම ණය සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන් කර ඇත.
කෘෂිකාර්මික අගයදාම සංවර්ධන වැඩසටහන ගොවි ජනතාව සහ කෘෂි ව්‍යවසායකයින් සඳහා විශේෂිත වූ සහන රැසක් මින් හිමිවේ.
ආර්ථික අර්බුදය හමුවේ ණය ගෙවාගත නොහැකි වූ ව්‍යවසායකයන් ආරක්ෂා කිරීම සඳහා 2025.03.31 දින දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇත. එසේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මකට ඇතුළු වීමට අවස්ථාව ලබා දෙමින්, පොලී වට්ටම් සහ සහන කාලයන් ද රජය මඟින් හඳුන්වා දී ඇත.
සහනදායී ණය පහසුකම් ලබා ගැනීමට අපේක්ෂිත ව්‍යවසායකයෙකු ප්‍රථමයෙන් තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, විදාතා හෝ ජාතික ව්‍යවසාය සංවර්ධන අංශයේ නිලධාරීන් මඟින් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කර මූලික නිර්දේශ ලිපියක් ලබා ගත යුතුය. ඉන් අනතුරුව එම ලිපිය සමඟ ලංකා බැංකුව, මහජන බැංකුව වැනි රාජ්‍ය බැංකු හෝ සම්පත්, සෙලාන්, කොමර්ෂල් වැනි පිළිගත් පෞද්ගලික බැංකුවක් වෙත අයදුම්පත ඉදිරිපත් කළ හැකිය.
මෙම සියලු වැඩසටහන් ඩිජිටල් පද්ධති හරහා විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක වන බැවින්, බාහිර බලපෑම්වලින් තොරව සුදුසුකම් ලත් සෑම ව්‍යවසායකයෙකුටම මෙහි ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත.
( සටහන |ජේ.මුණසිංහ)








