ගල්ෆ් කලාපයේ ඇති වී තිබෙන යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය බරපතල අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ පා
සිටින අතර මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා හදිසි සාකච්ඡාවක් ඉකුත් දා පැවැත්විණි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර රජයේ නිලධාරීන් සහ අපනයන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ පිරිස් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
රටේ අපනයන කාර්යසාධනය ආරක්ෂා හා සුරක්ෂිත කරගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර එහිදි කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග සහ අවදානම් ඇගයීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබිණි.
මැද පෙරදිග කලාපය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අපනයන වෙළෙඳපොළක් වන අතර, විශේෂයෙන්ම තේ, කුළු බඩු, පළතුරු, එළවළු, පොල් ආශ්‍රිත නිෂ්පාදන, සහ සකසන ලද ආහාර යනාදිය මෙම කලාපයට අපනයනය කෙරේ. කෙසේ වෙතත් වර්තමානයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් නෞකා ගමන් මාර්ගවලට බාධා සහ අවහිර වීම් සිදුව තිබෙන අතර, ඒ හේතුවෙන් රක්ෂණ පිරිවැය ඉහළ ගොස් ඇති අතර කලාපයේ වෙළෙඳ සැපයුම් කටයුතු සියල්ලටම පාහේ බාධා එල්ල වී තිබේ.
වත්මන් අර්බුදය දිගින් දිගටම පැවැතියහොත් හෝ යුද්ධය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් හෝ, ගල්ෆ් කලාපීය වෙළෙඳපොළවලට සේවා සපයන සැපයුම් දාමවලට දැඩි බලපෑමක් සිදුවනු ඇතැයි සාකච්ඡාවට සම්බන්ධ වූ පාර්ශව අවධාරණය කළහ. ඉල්ලුම අඩු වීමේ අවදානමත් නෞකා ප්‍රමාද වීමත් හේතුවෙන් නෞකා ගාස්තු ඉහළ යෑම සිදුවිය හැකි බවත් ඔවුහු ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන් සංගමය, කුළු බඩු සහ ආශ්‍රිත නිෂ්පාදන සහ වෙළෙඳාම්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පළතුරු සහ එළවළු නිෂ්පාදකයන්ගෙන්, වෙළෙඳාම්කරුවන්ගේ සහ, අපනයනකරුවන්ගේ සංගමය, යනාදී අපනයන ක්ෂේත්‍රයේ සහ නෞකා සහ සැපයුම් දාම යනාදී අපනයන සහ නෞකා ක්ෂේත්‍රවලට සම්බන්ධ සංගම්වල නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ පාර්ශව ද ඊට සහභාගී විය.








