එළැඹෙන ශීත සෘතුව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගම (British Airways) ශ්‍රී ලංකාව බලා යළි ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.
ඒ අනුව 2026 ඔක්තෝබර් 23 දින සිට ලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපොළේ සිට සතියට තුන් වතාවක් මෙරට බලා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම ගුවන් ගමන් සඳහා වන ටිකට්පත් අලෙවිය ඊයේ (17) සිට ආරම්භ විය.
දැනට මෙරට සිට ලන්ඩන් බලා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන එකම ගුවන් සේවය වන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමයි.
හේලීස් සමාගම සහ ධම්මික පෙරේරාගේ භූමිකාව
බ්‍රිටිෂ් ගුවන් සේවයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා (General Sales Agent - GSA) ලෙස කටයුතු කරන්නේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් හේලීස් (Hayleys Aviation) ආයතනයයි. හේලීස් සමූහය යනු ප්‍රසිද්ධියේ ලැයිස්තුගත කළ සමාගමක් වන අතර එහි බහුතර කොටස් හිමිකාරිත්වය දරන්නේ බහු කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ ඔහුට අනුබද්ධ සමාගම් විසිනි.
පසුගිය රජයන් සමයේදී මෙන්ම වත්මන් අනුර කුමාර දිසානායක රජය යටතේ ද ධම්මික පෙරේරා සතු දේශපාලනික හා ව්‍යාපාරික බලපෑම්කාරීත්වය විචාරකයින්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අර්බුදය
බ්‍රිටිෂ් ගුවන් සේවයේ දේශීය නියෝජිත ආයතනය වන හේලීස් පී.එල්.සී. හි විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන සරත් ගනේගොඩ, මේ වන විට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සභාපති ධුරය ද හොබවයි. ඔහු 2007 වසරේ සිට හේලීස් කළමනාකාරීත්වයේ ප්‍රධාන භූමිකාවන් නියෝජනය කළ අයෙකි.
කෙසේ වෙතත්, සරත් ගනේගොඩ ගේ සභාපතිත්වය යටතේ ද ශ්‍රීලන්කන් ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලබමින් පවතියි. පසුගිය වසරේදී ජාතික ගුවන් සේවය නගාසිටුවීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 25ක මුදලක් ලබා දුන් අතර, ඉදිරි මාස කිහිපය තුළද එවැනිම මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා දීමට රජයට සිදුවනු ඇතැයි වාර්තා වේ.










