මැද පෙරදිග යුධ ගැටුම් නිසා රට තුළ පවතින ඉන්ධන අර්බුදය වැනි අවස්ථාවක් නැවත මතු නොවීමට නම් කඩිනමින්ම රටෙහි ඉන්ධන සුරක්ෂිතතාවක් ඇති කිරීම සඳහා සූදානම්වීම අත්‍යවශ්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත සිල්වා පවසයි.
ඒ සඳහා දැනට භාවිතයට නොගෙන ඇති ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ඇති තෙල් ටැංකි ඉක්මනින්ම භාවිතයට ගැනීම සිදුකළ යුතුව ඇති බවත් හම්බන්තොට වරාය තුළ එවැනි පහසුකම් ස්ථාපිත කළ යුතුව ඇති බවත් සුසන්ත සිල්වා පවසයි. එහෙත් පසුගිය කාලසීමාව පුරාම එම කටයුතු සිදු නොවීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවත්, මෙම කර්මාන්තය වෙත එම පියවර අත්‍යවශ්‍ය බවත් ඔහු සඳහන් කරයි.
“තවමත් මේ කටයුතු පමාවීම සුදුසු දෙයක් නෙමෙයි මෙය අදට නෙමෙයි අනාගතයටයි වටින්නේ. මොකද ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. අද රටේ ඉන්ධන ගබඩා කිරීමේ ධාරිතාව පවතින්නේ එක් මාසයකට පමණයි. ඒ නිසා රට තුළ ඉන්ධන සුරක්ෂිතතාවට දැන් සිට හෝ සූදානම් විය යුතුයි.”
ඩේලි FT පුවත්පත, ACCCn සහ ICCSL එක්ක සංවිධානය කළ මැදපෙරදිග අර්බුදයෙන් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි අවස්ථා පිළිබඳ අන්තර්ජාල වෙබිනාර් වැඩසටහනකදී අදහස් දක්වමින් හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙම කරුණු සඳහන් කළේය. ඔහු වර්තමානයේදී මෙරට තුළ ෂෙල් සන්නාමය යටතේ ඉන්ධන අලෙවියේ නිරත RM Parks සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂකවරයා ද වෙයි.
ත්‍රිකුණාමලයේ තියෙන ඉන්ධන ටැංකි 100 ඉදිකළේ බ්‍රිතාන්‍යයෙන් ඒ පළමු ලෝක යුද්ධයෙන් පස්සේ. දෙවෙනි ලෝක යුද්ධය අවස්ථාවේදී ජපානය බෝම්බ දාලා ඉන් එක ටැංකියකට හානි සිදුවුණා. ඒත් ඉතිරි අනූනමයට හානි වුණේ නැහැ. මේ ටැංකි වලට මොකද වුණේ. කවුරුත් ඒවා අලුත්වැඩියා කරන්න බැලුවේ නැහැ. 2022දී ඉන්දියන් ඔයිල් සමාගම පැමිණිලා ඔවුන් ටැංකි දාහතරක් ගත්තා. ඊට පස්සේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම අත්සන් කරපු ඒකාබද්ධ ගිවිසුමක් යටතේ ටැංකි 61ක් බාරගත්තා. ඒ අතරින් ටැංකි විසිහතරක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමි වුණා. ඒකෙන් ටැංකිය හතරක් වගේ තමයි දැන් භාවිත කරන්නේ.”
ඒ අනුව මෙම මැද පෙරදිග යුද ගැටුම් තත්ත්වය අවස්ථාවක් කරගනිමින් මෙම පහසුකම් අලුත් වැඩියා කිරීමට යොමු වීම වැදගත් බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේ ය.
“අපේ ඉන්ධන සංචිතය එක මාසයකට නෙමෙයි මාස දෙකකට පවත්වාගෙන යන්න පුළුවන්නම් එය ඉතාමත් හොඳ දෙයක්. එහෙම වුණොත් අපිට පුළුවන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න. ඒ සඳහා ඉක්මනින්ම ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු වෙනවා. ඒ වගේම හම්බන්තොට වරාය සතු ගෑස් ගබඩා කිරීමේ පහසුකම් තිබෙනවා. තවමත් ඒවා නිසි ලෙස භාවිත කරලා නැහැ.”
මේ අතර මෙම ඉන්ධන කර්මාන්තය තුළ වඩාත් හොඳ නියාමන ක්‍රමවේදයක් පැවතීම ද වැදගත් බවත් ඔහු මෙහිදී සඳහන් කළේය. එහිදී ඉන්ධන මිල සම්බන්ධයෙන්ද මෙසේ නියාමනයක් නොමැති බවත් එය ඕනෑම සමාගමකට ඉන්ධනානයේ අසාර්ථක වීමට හේතුවක් වනු ඇති බවත් ඔහු ගේ අදහස වී තිබේ.
“අද වෙනකොට රටේ තියෙන්නේ නිවැරදි ඉන්ධන මිලක් නෙවෙයි. අප්‍රේල් දෙවැනි දා වෙනකොට ඩීසල් බැරලයකට තිබුණේ ඩොලර් 292ක මිලකට මම කවදාවත් ඒ වගේ මිල ඉහළ යෑමක් දැකල නැහැ. ඒ අතරම මේ කාලයේදී ඉඳන් බැරලයක් සඳහා වන ප්‍රීමියම් අගය වෙනදාට තියෙන්නේ ඩොලර් 5ක සීමාවේ. එය ඩොලර් 60 දක්වා ඉහළ ගියා. ඒ කියන්නේ ඩීසල් බැරලයක් ඩොලර් 350ක අගයක් ගන්නවා. අද වෙනකොට ඩීසල් ලීටරයකින් සිද්දවෙන පාඩුව රුපියල් 280කට වැඩියි. ඒ කියන්නේ ඩීසල් ලීටරයකට නිවැරදි මිල දැන් තියෙන මිලට තවත් 280ක් එකතු වෙන්න ඕනි.
ඒ අනුව මෙම ගැටලුවේ ඇත්ත පැහැදිලිවම ජනතාවට පෙන්නුම් කිරීම අත්‍යවශ්‍ය වන බවත් එසේ නොවුනහොත් දැනට රටේ ඉන්ධන අලෙවියේ නිරත සමාගම හතරට සිංගප්පූරු වෙළඳපොලේ ඉන්ධන පැවතියත් ඒවා ආනයනය කර ගැනීමේ හැකියාව නැතිවන බවත් ඔහු සඳහන් කළේය.
ටොන් 40,000කට ඉන්ධන නැවක් කලින් තිබුණේ ඩොලර් මිලියන 27ත් 30ත් අතර මුදලකට. ඒත් දැන් එය ඩොලර් මිලියන 70කට ගිහින්. ඒ නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු අනෙකුත් සමාගම් මේ වනවිට අසීරු තත්ත්වයක පසුවෙන්නේ”
ඒ අනුව රට තුළ ඉන්ධන සඳහා සහනාධාරයක් ලබාදීම ගැටළුවට පිළිතුරු නොවන බවත් සුසන්ත සිල්වා මෙහිදී සඳහන් කළේය. “ඉන්ධන සඳහා ඇත්ත මිල ජනතාවට ප්‍රකාශ කළ යුතුයි. ඒ මිලට තමන්ගේ වාහනයට කර්මාන්තවලට ඉන්ධන ගන්න පුළුවන් කෙනා ඉන්ධන ගනීවි එහෙම බැරි කෙනා එය නවත්වාවි.”
භානුක අමරසිංහ
(ලංකාදීප FT)








