නිදහස් වෙළඳ ගිවිසුම්වලින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට නම් ඒවා හඳුනාගැනීම සහ සාකච්ඡා කිරීම සඳහා කැප වූ පූර්ණ කාලීන පහසුකම් සහ පුද්ගලයන් අවශ්‍ය යැයි ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදය පවසයි.
ශ්‍රී ලංකාවට නිදහස් වෙලද ගිවිසුම් සඳහා සුදුසු වෙළඳපොළ හඳුනා ගැනීම ඒවායේ ආර්ථික ප්‍රතිලාභ විශ්ලේෂණය කිරීම සහ සාකච්ඡා ක්‍රියාවලිය නිරන්තරයෙන් ඉදිරියට ගෙන යාම සඳහා එවැනි බලගැන්වූ කණ්ඩායමක් අවශ්‍ය යැයි එම සංසදය අවධාරණය කරයි.
තවද එවැනි ගිවිසුම් ඇති කරගත යුත්තේ උපායමාර්ගික ආයෝජන සහ අපනයන අවස්ථා ඇති වෙළඳපොළ සමග යැයිද එම සංසදය කියයි.
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මෙම අදහස් අවධාරණය කර ඇත්තේ 'ඇඟලුම් ක්ෂේත්‍රයේ වෙළෙඳ ගිවිසුම්: ශ්‍රී ලංකාවට වියට්නාමයෙන් උගත හැකි පාඩම්' මැයෙන් ලංකාදීප FT අතිරේකයට යොමුකළ ලිපියකය.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට වියට්නාමයේ සාර්ථකත්වය සරලව පිටපත් කළ නොහැකි වුවද එයින් ලබාගත හැකි වැදගත් පාඩම් රැසක් ඇතැයි එම සංසදය පවසයි.
නිදහස් වෙළෙඳ ගිවිසුම් හරහා වෙළඳපොළ ප්‍රවේශය ලබා ගැනීම පමණවත් ප්‍රමාණවත් නොවන බවත් එය අර්ථවත් වන්නේ ස්ථාවර ප්‍රතිපත්ති, ආයෝජන සඳහා සූදානම් පරිසරයක් සහ වෙළඳපොළ අවශ්‍යතාවට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් තිබෙන විට බවත් ඔවුහු පවසති.
වර්තමානයේ ශ්‍රී ලංකාව ඇගලුම් අපනයන හරහා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන පහක පමණ ආදායමක් උපයන අතර මෙම ක්ෂේත්‍රයේ සෘජුවම පුද්ගලයෝ තුන් ලක්ෂ පනස්දාහක් පමණ රැකියාවල නිරතවෙති.
(සටහන | ගිම්හාන් ද සිල්වා)








