"ජේතවනාරාමය හැදූ ජාතියට නව කාර්මික යුගයක් බිහි කිරීමේ වගකීමක් තියෙනවා"
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ ප්‍රමුඛතම ව්‍යවසාය සංවර්ධන ආයතනයක් වන කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) නව සභාපතිවරයා ලෙස ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික උපායමාර්ගිකයෙකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන යසස් හේවගේ 2026 ජූනි 1 වැනිදා නිල වශයෙන් සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ.
වසර 60කට අධික ප්‍රෞඩ ඉතිහාසයක් ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය, මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත (SME) ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන ආයතනයකි.
දශක දෙකක වෘත්තීය අත්දැකීම් සමුදායක්
නව සභාපති යසස් හේවගේ බැංකු හා මූල්‍ය, ව්‍යාපාරික උපාය මාර්ග, ව්‍යවසායකත්ව සංවර්ධනය මෙන්ම ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රයන්හි දශක දෙකකට ආසන්න පුළුල් අත්දැකීම් සහිත වෘත්තිකයෙකි. HSBC සහ NDB වැනි ප්‍රමුඛ පෙළේ බැංකුවල උපායමාර්ගික කළමනාකරණ තනතුරු හෙබවූ ඔහු, NDB බැංකුව සංවර්ධන බැංකුවක සිට වාණිජ බැංකුවක් දක්වා පරිවර්තනය වීමේ ක්‍රියාවලියට සක්‍රීය දායකත්වයක් ලබා දුන්නේය.
මෙම පත්වීමට පෙර ඔහු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර, 'SME Nexus' ජාතික උපායමාර්ගික රාමුව සකස් කිරීමේ කණ්ඩායමේ මෙන්ම, යෝජිත ව්‍යවසායකත්ව හා කර්මාන්ත පරිවර්තන අධිකාරිය (EITA) පිහිටුවීමේ නායකත්ව කණ්ඩායමේද සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.
"නිෂ්පාදන විශිෂ්ටත්වය කරා නැවත ගමන් කළ යුතුයි"
ධුරයේ වැඩ භාරගනිමින් අදහස් දැක්වූ හේවගේ අවධාරණය කළේ අතීත උරුමයන්ට ගරු කරමින් අනාගතය වෙනුවෙන් නිර්භීත දැක්මක් ඇතිව කටයුතු කළ යුතු බවයි.
"ජේතවනාරාමය වැනි ලෝකය මවිත කළ ඉංජිනේරු නිර්මාණ බිහිකළ ජාතියක් ලෙස අප නැවතත් එම නිර්මාණශීලීත්වය සහ නිෂ්පාදන විශිෂ්ටත්වය කරා ගමන් කළ යුතුයි. තාක්ෂණය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය මත පදනම් වූ නව කාර්මික විශිෂ්ටත්වයේ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම අපේ පරම්පරාවේ වගකීමයි," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
විධායක පුහුණුකරුවෙකු (Executive Coach) ලෙස දහස් සංඛ්‍යාත ව්‍යවසායකයින් පිරිසක් රටට දායාද කර ඇති යසස් හේවගේ ගේ නායකත්වය යටතේ, IDB ආයතනය මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නව තාක්ෂණය ඔස්සේ ඉහළ තලයකට ඔසවා තබනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.








