වැට් බදු, පොහොර මිල සහ වතු වර්ජන මැද තේ දලු පරවෙද්දී, ඩොලර් සිහිනය අවදානමක..
මුල් මාස 4ම ‘මයිනස්’: අපනයන ආර්ථිකයක් ගැන ලස්සන කතා කියන මාලිමාවට පළමු රතු එළිය!
දේශීය ආර්ථිකය ගොඩනැඟීම සඳහා "අපනයන කේන්ද්‍රීය ස්ථාවරත්වයක්" ගැන ආණ්ඩුව වේදිකාවල කොතරම් ලස්සන කතා කීවද, ලංකාවේ ප්‍රධානතම ඩොලර් උල්පතක් වන තේ කර්මාන්තය මේ වන විට ජාත්‍යන්තර සහ දේශීය මලපුඩුවලට හසුවී දියවෙමින් පවතින බව අලුත්ම දත්ත මඟින් තහවුරු වේ.
පසුගිය අප්‍රේල් මාසයේ මෙරට තේ නිෂ්පාදනය පෙර වසරට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 2.25 කින් බිහිසුණු ලෙස පහත වැටී ඇති අතර, සමස්ත අප්‍රේල් මාසයේම නිෂ්පාදනය වී ඇත්තේ කිලෝග්‍රෑම් මිලියන 24.22 ක් වැනි අඩු ප්‍රමාණයකි.
හරිත තේ (Green Tea) හැර පහතරට, මැදරට සහ උඩරට යන සියලුම වගා කලාපවල නිෂ්පාදනය මෙලෙස එකලෙස කඩා වැටී ඇති බව වතු ක්ෂේත්‍රයේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
මුල් මාස හතරම පල්ලමට: අනතුරු ඇඟවීමේ සංඥා
2026 වසරේ පළමු මාස හතර (ජනවාරි - අප්‍රේල්) දෙස බැලීමේදී ද තත්ත්වය යහපත් නැත. මෙම කාලය තුළ සමස්ත තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 83.94 ක් වන අතර, එය 2025 වසරේ එම කාලයට වඩා කිලෝග්‍රෑම් මිලියන 4.69 ක දැවැන්ත පසුබෑමකි (Negative Variance). 2024 වසරේ වාර්තා වූ කිලෝග්‍රෑම් මිලියන 80.16 ක මට්ටමට වඩා මෙය තරමක් ඉහළින් තිබුණද, වසරින් වසර සිදුවන මෙම අඛණ්ඩ පල්ලම් බැසීම මෙරට ආර්ථිකයේ ඉදිරි ගමනට රතු එළි දල්වන්නකි.
මෙම කඩාවැටීමට හේතුව හුදෙක් කාලගුණය පමණක් නොවේ. නිෂ්පාදන පිරිවැය අහස උසට නැඟීම, පොහොර මිල අර්බුදය, රුපියල සහ ඩොලරය අතර සිදුවන අස්ථායී උච්චාවචනයන් මෙන්ම දීර්ඝ කාලයක සිට වතුකරයේ පවතින නොවිසඳුණු කම්කරු සහ වැටුප් අරගල (Labor Unrest) මීට සෘජුවම බලපා ඇත.
මැදපෙරදිග ගින්න ලංකාවේ තේ කෝප්පයට බලපෑ හැටි
ලංකාවේ තේ ආර්ථිකයට එල්ල වූ දරුණුතම බාහිර ප්‍රහාරය පැමිණියේ මැදපෙරදිග කලාපයෙනි. ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින බිහිසුණු යුදමය ආතතීන් සහ නාවික සැපයුම් මාර්ග අවහිර වීම් හේතුවෙන් ලංකාවේ තේ සඳහා පවතින ප්‍රධානතම වෙළඳපොළක් වන මැදපෙරදිග කලාපයට තේ අපනයනය කිරීම දැඩි අර්බුදයකට ලක්ව තිබේ.
ගෝලීය වෙළඳපොළේ පවතින මෙම අස්ථාවරත්වය හමුවේ කෙන්යාව වැනි ප්‍රතිදේහී තරඟකරුවන් ලංකාවේ වෙළඳපොළ කොටස් (Market Share) ඩැහැගැනීමට සූදානමින් සිටිති.
නිද්‍රාශීලී ප්‍රතිපත්තිවල විපාකය
IMF ණය වාරික සහ මූල්‍ය සමාලෝචන ගැන පුරසාරම් කියන ආණ්ඩුව, රටට සැබැවින්ම ඩොලර් උපයා දෙන වතුකරයේ කර්මාන්තකරුවන් සහ පීඩිත ජනතාව මුහුණ දෙන ප්‍රායෝගික ගැටලුවලදී පසුවන්නේ අන්ධයන් මෙනි. පෞද්ගලික වතු සමාගම්වල පවතින මූල්‍ය අර්බුද සහ කම්කරු ගැටලුවලට සෘජුව මැදිහත් වී විසඳුම් දීමට කෘෂිකර්ම සහ වතු කර්මාන්ත අමාත්‍යාංශ තවමත් අපොහොසත් වී තිබේ.
නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට සහන දීම, ස්ථාවර විනිමය ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම සහ භූ-දේශපාලනික කම්පනවලින් ‘සිලෝන් ටී’ සන්නාමය ආරක්ෂා කරගැනීමට රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් දියත් කිරීම කඩිනමින් සිදු නොකළහොත්, ලංකාවට තේ කෝප්පයෙන් ලැබෙන ඩොලර් ටිකත් අහිමි වී යාම වැළැක්විය නොහැක
(සටහන | සම්පත් ධීරසේකර)








